Powered By Blogger

Followers

Monday, August 29, 2011












Thursday, August 25, 2011

http://pariganakalipi.blogspot.com/2011/08/blog-post_12.html#more

Sinhala Web

http://www.sasrutha.com

සබරගමුව මහා සමන් දේවාලය

සබරගමුව මහා සමන් දේවාලය


රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරාසන්නයේ පිහිටි මාරගහයට නම් ස්ථානයෙන් දකුණට හැරී පානදුර මාර්ගයේ කිලෝමීටර් 02 ක් පමණ ගමන්කල විට සබරගමුව මහා සමන්දේවාලය හමු වේ. දේවාලය අවට ප්‍රදේශය ‘දේවාලේගාව’ යනුවෙන් හදුන්වන අතර එක් පසෙකින් කළු ගඟද අනෙක් පසින් රත්නපුර - පානදුර මහා මාර්ගයෙන් මායිම් වී ඇත. සුමනසමන් දෙවියන් වෙනුවෙන් ඉදිකෙරුනු ප්‍රධානතම දෙවොල මෙය වන අතර එබැවින් ‘සබරගමු මහ සමන්දේවාලය’ ‍යනුවෙන් ප්‍රකට වී තිබේ.


සබරගමු ම‍හා සමන් දේවාලය පුරාවස්තු ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කළ ආරක්ෂිත ස්මාරකයකි. එහි පාලන කටයුතු සිදුකෙරෙනුයේ බස්නායක නිළමෙ වරයෙකුගේ මෙහෙයවීමෙනි. ඓතිහාසික තොරතුරු අනූව මහා සමන්දේවාලය ඉදිවී ඇත්තේ ක්‍රි.ව. 1228-1263 දඹදෙනිය යුගයේහි විසූ සයවැනි පරාක්‍රමබාහු රජු දවසය.


ආර්යකාම දේවනම් රජුගේ මහා ඇමතිවරයා රත්නපුර ප්‍රදේශ‍ෙය් මැණික් ගැරීමේ කටයුතු සිදුකරමින් රාජභාණ්ඩාගාරය තර කිරීම ඔහුට පැවරී ඇත. ආර්යකාමදේව ඇමතිවරයා රත්නපුරයට පැමිණ මුලින්ම තම පැමිණී රාජකාරිය නිසි ලෙස ඉදිකොට දෙන ලෙස පිහිට ආරක්ෂාව පතා රජතුමා වෙනුවෙන් සමන් දෙවිදුට භාරයක් වී ඇත.


ඉන් පසු මැණික් ගැරීමේ කටයුත්ත සාර්ථක වී වටිනා මිණිකැට රාශීයක් ලැබී ඇත. මේ බව දැනගත් ‍සයවැනි ප රාක්‍රමබාහු රජතුමා බෙහෙවින් සතුටු වී සමන් දෙවිදුන් වෙනුවෙන් මහා දෙවොලක් ඉදි කිරීමේ කටයුත්ත ආරම්භ කර ඇත.


ආර්යකාම දේව ඇමතිවරයා ඒ කටයුත්තද භාරගෙන සබරගමු මහා සමන්දේවාලය ඉදිකො‍ට ඇත. මහා සමන්දේවාලයට දකුණුපසින් කළුග‍ඟේ එහා ඉවුර මස්තකයෙන් ඓතිහාසික පොත්ගුල් විහාරය පිහි‍ටා ඇත. පොත්ගුල් විහාරය වලගම්බා රජු දවස කරවූවක් බව පැවසේ



ආර්යක‍ාමදේව මහා අමාත්‍ය වරයා මහා දෙවොල ඉදිකිරීමට පෙර මෙම ස්ථානයේ සබරගමුවෙහෙර නම් බෞද්ධ සිද්ධස්ථානයක් පැවත ඇත. එයද වලගම්බ රජු කරවූවක් බවට විශ්වාස කෙරේ. ආර්යකාමදේව ඇමතිවරයා මෙම ස්ථානයෙහි සබරගමු මහා සමන්දේවාලය ඉදිකරන විට සබරගමු වෙහෙර නම් බෞද්ධ සිද්ධස්ථානයේ උපාංගයක් ලෙසින් මහා සමන් දේවාලය ගොඩනැගුවා විය හැක. පුරාවිද්‍යා පරයේෂන මගින් හෙලිකරගත් කරුණු අනූව මහා සමවන්දේවාලය සාදා වර්ෂ 200 කට පමණ පසුව එය පිළිසකර කර තිබේ. ක්‍රි.ව. 1410 දී පමණ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජකල ශ්‍රී සංඝබෝධි හයවැනි පරාක්‍රමබාහු රජු විසින් මේ සඳහා රිදී පඩුරු 26000 ක් වැය කළ බව කියවේ. මෙම පිළසකර කටයුත්ත මෙහෙයවා ඇත්තේ ආර්යකාමදේව අමාත්‍යවරයාගේ මුනුපුරෙකු වූ නීලප්පෙරුමාල් නැමති පඩිවරයෙකි.


ඈත සිට බලනකල සබරගමු මහා සමන්දේවාලය ආරක්ෂීත කොටුපවුරකින් වටකර ඇති මහා බලකොටුවක් ලෙස දිස්වේ. මහා සමන්දේවාලයට ඇතුලු වීමට වාහල්කඩ දොරටු දෙකක් ඇත. එයින් ප්‍රධාන දොරටුව මහුණලා තිබෙනුයේ ඊසාන දෙසටය. සතියේ දින හතෙන් එකද දිනකවත් ඊසාන දෙසට මරු සිටින්නේ නැත. මෙම දොරටුව නිර්මාණය කර ඇත්තේ දෙවොල තුලදී ඕනෑම සුභ කටයුත්තක් සිදුකර මරුට මුහුණ නොදී පිටව යා හැකි ආකාරය‍ටය.


එය ඉපැරණී ගෘහ නිර්මාණ ශිල්පයේ සබරගමු ලකුණ පෙන්නුම්කරන නිර්මාණයකි.


සබරගමු මහා සමන්දෙවොල පරසතුරු උවදුරු රාශීයකටම මුහුණ දුන් තැනකි. දෙවොල නිමකර ඇත්තේ කලුගල් සහ මැටියෙන් කල බිත්ති වලිනි. එම බිත්තියක් අඩි දෙකක් පමණ ඝනකමය. වහලය බොහෝම ශක්ති සම්පන්නය. බාල්ක හා පරාල වලට යොදාගෙන අත්තේ වටිනා දැව වර්ගයන්ය. වහලය සෙවිලිකර ඇත්තේ පෙති උළු වලිනි. අතීතයේදී දේවාලය වටා ශක්තිමත් කලුගල් බැම්මක් තිබුනුබව තැනින්තැන ඇති නටඹුන් වලින් පෙනේ. මෙයට අමතරව ‘ආනමේත්‍ර’ යනුවෙන් හදුන්වන ආරක්ෂීත තාප්පයක්ද දෙවොල වටා ඉදිකර ඇත.


දෙවොලේ රාජකාරී කටයුතු වලට අවශ්‍ය රථ ගෙයක්ද සිංහාසන මන්දිරයක්ද, අතපත්තුමඩුවක්ද, මඩම් දෙකක්ද දෙවොලෙහි වෙයි.


මහා සමන් දෙවොලෙහි ඇති බොහෝ දේවල් කුතුහලය දනවන සුළුය. එහෙත් දෙවොලට යන එන වැඩි දෙනෙක් ඒවා පිළීබද අවධානය යොමු නොකරයි.


මඩුවන්වෙල වලව්ව

මඩුවන්වෙල වලව්ව


මඩුවන්වෙල මහා දිශාව හා ඔහුගේ වාසස්ථානය වූ මඩුවන්වෙළ වලව්ව පිළිබඳව ඇති තොරතුරු කෘතුහලය දනවන සුළුය. මඩුවන්වෙල මහා දිසාවගේ පෞධ චර්යයා රටාවත් පරපුරේ පෞඩත්වයත් කියා පෑම‍ට තරම් අරුම පුදුම වලව්වක් ශ්‍රී ලාංකික අප සැමට නිර්මාණ ශීලී සම්පතකි. පුරා විද්‍යාත්මක තොරතුරු හා විවිධ චරිත පිළිබඳ ගවේෂණය කරන්නන් හට මෙම ස්ථානය බෙහෙවින්ම වැදගත් ස්ථානයකි.


මඩුවන්වෙළ වලව්වට පිවිසිය හැකි පහසුම මාර්ගය වනුයේ කොළඹ ඇඹිලිපිටිය ප්‍රධ‍ාන මාර්ගයේ උඩවලව හංදිය (බැරියල් හංදිය) පසුකොට කිලෝමීටර් 1 ½ පමණ ඉදිරියෙන් රංචමඩම මාර්ගයේ පනාමුර හංදියට ගොස් එතැනින් කෑල්ල හංදිය හරහා කොළොන්න පාරේ ගමන් කරන විට මඩුවන් වෙල වලව්වට පිවිසිය හැක. කොළඹ සිට පැමිණෙන විට කෙටිම මාර්ගය වනුයේ මෙම මාර්ගයයි. මෙම මාර්ගයේ වලව්වට ඇති දුර කිලෝමීටර් 34 ක් වන අතර කොළඹ සිට මෙයට කි.මී. 207 කි. මහා දිසාවගේ මුත්තාගේ යුගය ක්‍ර.ව. 1700 පමණ තෙක් දිව යයි. දිසාවගේ මුත්තා 11 වන විමලධර්ම සුරිය රජුට ආයුධ සපයා ඇත. ඔහු වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක නම් අයෙකි. ඔහුට කොඩිතුව්ක්කු නම් නිලනාමය රජු වෙතින් ලැබී ඇත. මඩුවන්වෙල නින්දගම ඔහුවෙත ලැබුනේද විශේෂ හේතුවක් මුල්කරගෙනය. එනම් විමලධර්මසූරිය රජු දඩයමේ ගිය ප්‍රදේශය සූරියකන්දය.


මෙම ප්‍රදේශයේ ගෝනෙකු සිටින බව රජුට ආරන්චි විය. මෙම ගෝනා පන පිටින් අල්ලා ගෙනවිත් දෙන කෙනෙකුට ගම්වරයක් පිරිනම්නේයයි රජු දැන්ම් දුන්නේය.


මෙහිදී මෙම ගෝනා ඇල්ලීමේ අභියෝගය භාරගැනීමට කොඩිතුවක්කු නිලමේ ඉදිරිපත් විය. ඔහු සුදු ගෝනා පනපිටින් අල්ලා රජුට භාරදීමේ කටයුත්ත ඉටුකිරීමේන් අනතුරුව මහත් ප්‍රීතියට පත් රජු මඩුවන්වෙල නින්දගම සන්නසකින් ඔහු වෙක භාර දෙන ලදී. සන්නසේ සඳහන් වෙන ආකාරයට කොළොන්න කොරලේ කොළොන්න ගම්පත්තුවේ මඩුවන්වෙල නින්දගම‍ට හා ඉන් නැගෙනහිරට වලවේ ගඟ ද දකුණු දිගින් ගොඩඋඩ දිය බස්නවද බස්නාහිර දිගින් දහයියාගල කන්දද, උතුරු දිගින් කිතල බොකු ඔයද වේ මෙහි තුල මඩුවෙන් වී අමුණු හැටපහඅමුනේ වපසරියක් වී අඩුත්තු හෙවත් ගහකොළ ගොඩ වල්පිට ඇතුලු ප්‍රවේනි සැලැස්මට භුක්ති විදින රඟට සක වස එක්වාදහස් සසීය විසිතෙක් වූ ඉල්මස පුර හතවක ලත් ගුරු දින මෙ දවස මේ සන්නස දෙවා වදාළහ. II වන විමලධර්මසූර්ය රජු ලබාදුන් නින්දගමේ මේ ආකාරයට මෙම ස්ථානයේම වලව්ව සෑදිමට විශේෂ හේතුවක් වී ඇත. කැලයේ සිට හාවකු නරියෙකු සපු සප ලුහු බැද විත් මෙම ස්ථානයේදී හාවා නැවතී ඇත. ඉන් පසු නරියා බිය වී ආපසු කැලයට දිව ගොස් ඇත. ඒ ආකාරයෙන් මෙය ජය භූමියක් ලෙස සලකා වලව්ව ගොඩනැගීමට තීරණ කර ඇත.


ඔහු විසින් ගොඩ නගන ලද මඩුවන්වෙල වලව්ව ඔහුගෙන් පසුව සිය පුතා වන මහ දිසාවගේ පියාට (මහමුදලි තුමාට) උරුම විය. ඔහු විසින් වලව්වේ දියුණුවට විශාල වැඩ කොටසක් ඉටු කර ඇති අතර 1725 දී ඔහු විසින් වලව්වට උළු සෙවිලි කරන ලදී. මහමුදලි විසින් මුදලින්දාරාමය නම් ටැම් පිට විහාරය ඉදිකර ඇත. එය වලව්වේ සිට කි.මී. 01 පමණ දුරකින් පිහිටා ඇත. මඩුවන්වෙල වලව්වට මෙම න‍ාමය පටබැදීම පිළිබඳව වාද කීපයක් ගොඩ නැගී ඇත.


මෙම ප්‍රදේශයේ තැනිතලා බිම ආශ්‍රිතව කලෑ මී හරකුන් බහුලව සිට ඇත. එවකට මී හරකුන්ට මඩුවන් යන නම භාවිතා කළ බවත් මීහරකුන් බහුලව සිටි වෙළ මඩවන් වෙළ වු බවත් එක් ජන වහරකි. එක්තරා වකවානුවක මෙම ප්‍රදේශයේ කුඹුරු වැපිරූ ගොවීන්ට අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වී ඇත. එයට හේතුව වී කරල් සහිත ගොයම් ගස් පිදුරු (මැඩුවන්) පමණක් දැකගැනීමට හැකි වී ඇත. එම හේතුවෙන් මෙම වෙල්යාය සහිත ප්‍රදේශය මැඩුවන්වෙල යයි නම පට බැදී පසුව මඩුවන්වෙල වූ බවයි. තවත් මතවයක් නම් වර්ෂා කාලයක එක්තරා වැසි දිනෙක මෙම ප්‍රදේශයේ වෙල්යායට මඩියෝ නම් මාළු විශේෂයක් වැසි ජලයක් සමඟ වැටී ඇතැයි කියවේ. මඩියන්වෙල පසුව මඩුවන්වෙල වු බවත් තවත් මතයකි. අතීතයේ මෙම ප්‍රදේශය එක්තරා ස්ථානයකින් කරදිය උල්පතක් මතු වී ඇත. එය ගැටඹේ උල්පත ප්‍රදේශයේ මතු වුයේයයි මතයක් පවතී. එම උල්පතින් මුහුදු මඩුවන් නම් මාළු විශේෂයක්ද මතු වී ඇති අතර එම මසුන් අවට කුඹුරු යායේ තිබූ ගොයම්ද විනාශ කර ඇතැයි පැවසේ. මෙම උල්පත පසුව ඇතින්නියක ලවා පාගා වසා දමා ඇතැයි පැවසේ. එම ආකාරයට මඩුවන් මතු වූ වෙල මඩුවන් වෙල ලෙස ප්‍රචලිත වි යයි මතයක්ද පවතී. පියා වන වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අභයකොන් ජෝන් විල්සන් මඩුවන්වෙල හෙවත් බණ්ඩාර මහ මුදලි තුමා මිය ගොස් ඇත. කුඩා මඩුවන්වෙල ඉපදී දින 07 කින් සිය මවද මියගොස් ඇති අතර පසුව නාරංගස්මඩ වලව්වේ ඔහු හැදී වැඩී ඇත. (මහවලතැන්න වලව්වේ ඇති දැඩි වුයේ යයි ද මතයකි.) කුඩා මඩුවන්වෙල අධ්‍යානය සඳහා ඇතුල් කර ඇත්තේ ගල්කිස්ස ශාන්ත ජෝන් විදුහලටය.


පාසැල් කටයුතු අවසන් කළ තරුණ මඩුවන්වෙල තම පරපුරේ බල පරාක්‍රමය පැවති කොළොන්න කෝරලේ‍ට පැමිණ එහි රටේ මහත්යා ලෙසින් රාජකාරී ඇරඹීය. තම පරපුරේ උරුමය වු නින්දගම වලව්ව වැඩි දියුණු කොට ක්‍රමවත්ව පවත්වාගෙන යාම මනාව ඔහු සිදු කර ඇත. කල්ගත වෙත්ම මඩුවන්වෙල හට මහ දිසාව තනතුර ලැබින. දිසාවට ප්‍රවේනි උරුමයෙන් ලැබුන අක්කර 44000 ක ඉඩම් උරුමයක් තිබී ඇත. මඩුවන්වෙල, වලකඩ, පනාමුරේ, කැම්පනේ හා කොළොන්න යන ප්‍රදේශ එයට ඇතුලත්ව තිබී ඇත. නිසි කළ වයස පැමිණි මඩුව්නවෙළ කුරුවිට එක්නැලිගොඩ පරපුරේ කාන්තාවක වූ එක්නැලිගොඩ කුමාරිහාමි සමඟ විවාහ ගිවිසගෙන ඇති අතර එයින් ලැබුණු දෑවැද්දත් සමග කුරුවිට කෝරලේ නින්දගමද දිසාවට අයිති වී ඇත. ඒ අනූව දිසාවට අක්කර 84000 ක දේපොලක් උරුම වී තිබී ඇත. වඩාත් කාර්යය ශූර පුද්ගතයෙකු වූ මහා දිසාව තම පරපුරේ උරුමයක් වූ වලව්ව ක්‍රමවත්ව ගොඩනගන ලදී. කාමර 121 සහිතව සංවර්ධනය කරනු ලැබූ එහි මැද මිදුල් 21 ක් තිබී ඇත. වලව් භූමියට ඇතුලුවන ස්ථානයන්හී කළුගල් වලින් කරන ලද තොරන් 03 ක්ද මුර කුටි 03 ක්ද ආරක්ෂක පවුරු 03 ක්ද ආදී වශයෙන් ඉදිකර වු ඔහු වලව්ව ඉදිරිපස බෝධි ප්‍රාකාරයක්ද කරවා ඇත. වලව්වේ නිමැවුම සඳහා කළුවර , කලුමැදිරියය. සියඹලා වැනි වටිනා දැව වැඩි වශයෙන් භාවිතා කොට ඇත. මහල් දෙකකට නිමවා ඇති වලව්ව මුලුමනින්ම ආලෝකය ලැබෙනුයේ මැද මිදුල් මගිනි. වහලෙන් වැටෙන ජලය භූගත නල පද්ධතියක් මගින් මඩුවන්වෙල වැවට ගලායන ආකාරය වර්ථමානයේද එලෙසින්ම සිදු වේ. උඩුමහලට නැගුමට පියගැටපෙළ ඉතා ‍අලංකාර ලෙස දැවයෙන් නිර්මාණය කර ඇත. මඩුවන්වෙල දිසාව උසින් ඉතා අඩු පුද්ගලයෙකි. වලව්ව ආලින්දයේ ලී කැටයම් වලින් අලංකාර කරන ලද රාමුවක් මත ඔහුගේ ජීවමාන ජායා රූපය තබා ඇත. ඔහුගේ උස අඩි 4 අගල් 08 ක් වෙයි. ඔහුට පමණක් සෑහෙන පරිදි වලව්ව තුල උළුවහු සියල්ල අඩි 05 පමණ වන සේ නිර්මාණය කර ඇත. එපමණක් නොව වලව්වට පිවිසෙන ගලින් නිමකල ප්‍රධාන තොරන් නිමවා තිබුනේද දිසාවේ අශ්වයාගෙ පිටින් පැමිණෙන විට නොවදින පරිදි වන අතර සුදු ජාතිකයින් පැමිණෙන විට හිස පහත් කර පැමිණිය යුතු අයුරින් මෙම සියළු තොරන් හා වලව්වේ උළුවහු සහ ඇතුළුවීමේ දොරටු සකසා ඇත. මඩුවන්වෙල දිසාව යනු කිසි දිනෙක ඉංග්‍රීසි ජාතිකයින් කිසිදු තැකීමකට ලක් ‍ෙනාකල අයෙකි. හිරු නොබසින අධිරාජ්‍යයේ ඒකාධිපතිනිය වූ මහරැජිනගේ අනට කීකරු නොවු ඔහු ඇයට ගරු නොකලේය. වලව්වේ බිම් සැරසිල්ලට මහරැජින‍ෙග් රුපය පෑගීමට සලස්වා ඇති අයුරු එයට කදිම නිදසුනකි. බිමට අල්ලා ඇති මාබල් අතරට පිඟන් කුඩුකර ඒවායෙන් ලබාගත් රැජිනගේ රූප මාබල් අතරින් අල්ලා එහි යන එන අයගේ පයට පෑගීමට සලස්වා ඇත. අධිරාජ්‍ය විරෝදී කැරලි සංවිධානය කල ඔහු ඉංග්‍රීසි ජාතීන්ට නොයෙක් විට පහර දීමටද පෙළඹී ඇත. ඉංග්‍රීසි ජාතිකයින් කීප විටක්ම පහර දි වලව්ව නවිනාශ කිරිමට උත්සහ කළද එවා ව්‍යර්ථ විය. ඊ‍ට ප්‍රතිචාර ලෙස දිසාව විශාල පිරිසක් සමග ගොස් කටුවන බලකොටුවේ ඉංග්‍රීසීන්ට පහර දී එහි ප්‍රධාන දොරටුවද ගලවාගෙන පැමිණ ඇත.


ශක්තිමත් උලුවස්සක් සහිත තනි පලුවේ දොරක් වන එය ප්‍රධාන ශාලාවෙන් පිටවීමේ දොරටුව වශයෙන් අදටත් භාවිතා කරයි. මහ දිසාව ජීවත්ව සිටියදී වලව්වේ ගොඩනැගිලි අක්කර 20 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබී ඇත. වර්ථමානයේ එම භූමියේ කැනීම් කටයුතු වලද ඒවායේ අත්තිවාරම් කොටස් හමුවීම කදිම සාක්ෂියකි. වලව්ව වටා විවිධාකාර අවශේෂ ගොඩනනැගිලිද තිබී ඇත. ගම ආරච්චි කාමර, වී, මුං, ඉරිගු, මෙනේරි ආදී ගබඩා කාමර කම්මල් වඩු මඩු අශ්ව ගාල් ආදියද සේවකයින්ගේ නිවාසද ඒ අතර ප්‍රදානය. ඒවා සියල්ලගේම අද ඉතිරිව ඇත්තේ වලව්වේ කාමර 43 මැදමිදු‍ල් 07 ක් වෙති. මෙහි කාමර කුඩාය. අඩි 1 ½ පමණ ගනකම බිත්ති වලින් යුක්තය. මැෂින් කාමරය හැර කාමර කිසිවකට ජනෙල් නොමැත. අතීතයේ මෙම වලව්ව තුල කදිම ජල පද්ධතියක් ක්‍රියාත්මකව තිබි ඇත. වලව්වට දකුණු පසින් පිහිටි කදුගැටය පාමුල හීන් ලිද බුබුලු නගමින් දිය බුබුලක් තිබී ඇත. විශාල කුඹුක් ගසක් පාමුල ඇති මෙම දිය බුබුලේ ජලය කන්දේ ටැංකියක් මත ගබඩා කර නල මගින් වලව්ව වෙත රැගෙන විත් ඇත. මෙම ජලය ප්‍රයෝජනයට ‍ෙගන වලව්ව තුල තනා ඇති නාන කාමර අදටත් දක්නට ඇත. මඩුවන්වෙල වලව්වේ ගෘහනිර්මාණ ශිල්පියෙකු පිළිඳ කිසිදු තොරතුරක් සොයගෙත ‍ෙනාහැක. එහෙත් ඉතාමත්ම සැලසුම් සහගත ලෙස සියුම් අයුරින් නිර්මාණය කර ඇත.

වලව්වේ පොලව මත රටාවකට පිඟන් කටුවලින් අල්ලා ඇති මාබල් ආවර්ණය ඉන්දීය ආභාෂයක් ඇතියි විශ්වාස කෙරේ. මහ දිසාව අවස්ථා 03 කදී ඉන්දියාවට ගොස් ඇති අතර එහිදි මහාරාජාවරුන්ගේ මාලිගා තුල එවැනි නිර්මාණයක් තිබෙනු දැක හතරැස් පිගන් ගඩොල් තිබියදී එංගලන්තයේ පිඟන්නැවක් ගෙන්වා එම පිඟන් කුඩු කර ඉන්දීය ශිල්පීන් ‍ෙයාදා ගෙන වලව්වේ බිම සරසා ඇත. බ්‍රහ්මදත්ත මාලිගය (වරනාසි මහරජ මාලිගය) ද මේ ආකාරයේ කොටසක් දැකිය හැක.


මේ ආකාරයට රැජිනගේ රූපය සහිත පිඟන් කැබලි, රට කාසි, මැණික් ගල්ද ඔබ්බවා තිබී ඇති අතර වර්ථමානයේ එම කාසි හා මැණික් දැක ගත නොහැක. දැන‍ට ඉතිරිව ඇත්තේ කාමර 43 අතරින් 36 ක් සඳහා වෙන් වෙන් වශයෙන් නම් යොදා ඇත. පැරණි බුදු ගෙයි කාමරය, බංගලාවේ විශේෂ කාමරය, රට බීම ගබඩා කාමරය, දිග්ගෙයි කාමරය, පැරණි කෑම කාමරය, නාන කාමරය, පීරන කාමරය, අප්පොලා අශුද්ධව සිටින කාමරය, ඩිංගිරි අප්පොගෙ ලැගුම් ගෙය, මහ දිසාපති උපන් ගෙය, මහ දිසාපති නිදන කාමරය, සිව් මැදුර, සිව් මැදුරු කවුළු 04, විශේෂ අමුත්තන්ගේ වි‍වේක ශාලාව, විශේෂ අමුත්තන්ගේ රැස්වීම් ශාලාව , පිරිත් මණ්ඩපය, මැෂින් කාමරය, පුංචි බංගලාවේ මැෂින් කාමරය, අළුත් බුදුගෙය, බුලත් ගබඩා කාමරය, සොල්දරයට කාමරය, රදල ඇත්තන්ගේ කෑම කාමය, සිල්පිල කාමරය, සිල් කාමර දෙක. පුංචි කුමාරිහාමිගේ කාමරය, රදල ඇත්තන්ට කෑම පිළියෙල කළ කාමරය, තිඹිරිගෙය, තිඹිරිගෙයි කාමරය, මස්ගබඩා කාමරය, මාළු ගබඩා කාමරය, අධිකරණ ශාලාව, තෝල්ක මුදලිතුමාගේ කාමරය, මුළු කොළොන්න කෝරළයම පාලනය කළ කාර්යාල කාමරය, කැවිලි කාමරය, ශීතල කාමරය, අධීක ඉඩෝර ක‍ාලය ගත කිරීමට මඩුවන් වෙල දිසාව විසින් නිර්මණය කර ඇති ශීතල කාමරය, නම් ස්ථානයේ ශීතල බව රදවා ගැනීමට අපුරු නිර්මාණයක් කර ඇත. කාමරයේ බිත්තියේ ඉහලම කොටස පසාරු කැ‍ටයම් ලීමත මිනිරන් වලින් නිර්මාණය කළ අගල් 10 පමණ පළල දික්ආකාරයට මිනිරන් පටි සවි කර ඇත. අලංකාර ලීකැටයමෙන් යුතු ස්ථිර පිරිත් මණ්ඩපයක් වලව්වේ ඉදිරිපසම නිර්මාණය කර ඇත. පොලොව මත අලංකාර පිඟන් කටු සිවිකර ඇත. වලව්වේ වම් පස පිහි‍ටි අධිකරණ ශාලාව පුද්ගලයින් 100 කට පමණ එකවර සිටිය හැකි ඉඩකඩ සහිත ස්ථානයකි.


දිසාව විසින් නඩු ඇසීම සඳහා මෙම ස්ථානය යොදාගෙන ඇත. එහි බිත්තියේ සිංහ හා අශ්ව ලාංජනය සහිත ගාල් කොටුවේ නිල ලාංජනය ඇද ඇත. නඩු ඇසීමට පාවිච්චි කළ පුටුව නඩු දින වල ශාලාවේ ප්‍රදර්ශනය කර ඇති ලීයෙන් නිම වූ හරක් ඔළුව අදද දැක ගත හැකිය, අඩි 05 උසට නිමවා ඇති ශාලාවේ දොරටුව තුලින් සුදු ජාතිකයින් පැමිණෙන විට ඔළුව පහත් කර අච‍ාර කර පැමිණීමද මෙහි අරමුණකි. වරද කරුවන් වන අයට එවෙලේම ලබා දුන් දඩුවම් අතරට දඩු කදේ ගැසීම , වලව්වේ පොලව තැලීමට දිම, මෙහෙකාර ලදුන් ලබා රැවුල් ගස් ගැලවිම, කස පහර දීම, ආදිය දිසාවගේ දඩුවම් වී ඇත. (පොලව තැලීමේ දඩුවම සඳහා අදින ගල් රෝල අදද දැකිය හැක) කලට වේලාවට වැඩ කිරීමට පුරුදු වී සිටි මඩුවන්වෙල දිසාව ප්‍රමාධ වී පැමිණෙන සුදු ජාතිකයින් වලව්ව ඉදිරිපිට රතුමාර ගසේ බැද කස පහර දී ඇත. වලව්වේ ඉඩම් වලින් දිසාවට විශාල ආදායමක් ලැබිණ. තවද එම ඉඩම් වල ජීවක් වූවන් විසින් තමන් නිපදවන දෙයින් කොටසක් වලව්වටද ලබා දීමට නියමිතව තිබිණි. වලව්වේ ඇති තවත් වි‍ෙශ්ෂිත ස්ථානයක් වශයෙන් දිග්ගෙයි කාමරය පෙන්වා දිය හැක. එවකට මෙහි දිග්ගෙයි නැටුම නම් රංගනය පවත්වා ඇත. රජවරු සිටුවරු ඇතුළු ප්‍රභූන් සඳහා නැරඹීමට පමණක් කැප වූ විශේෂිත රංගනයක් ලෙස දිග්ගෙයි නැටුම ප්‍රචලිතය. දැනට මෙම නැටුම රත්නපුර සමන් දේවාලයේ පෙරහැරේදී නැරඹිය හැකිය. මඩුවන්වෙල මහ දිසාවට බිරින්දෑවරු දෙදෙනෙකු සිට ඇත. ඔහු එම පරපුරේ අවසාන සාමාජිකයා විය. ඔහුගේ බිරින්දෑවරු දෙදෙනා අතරින් කලවානේ කුමාරිහාමිට දුවක් ලැබුණු අතර ඇයද අංගවිකල තැනැත්තියක් විය. පසු කාලීනව ඇයට කෙර මැණිකේයැයි ප්‍රදේශවාසින් විසින් නම් පට බඳින ලදී. වර්ෂ 80 පමණ ජීවත් වී ඇයද මිය ගොස් ඇත. මඩුවන්වෙල දිසාවේ පිලබඳ පවතින ජනප්‍රවාද වලදී වඩාත් උණුසුම්ව අසන්නට ලැබෙන්නේ ඔහු කාන්තාවන් කෙරෙහි දැක් වූ ගිජු බව හා ඊට සම්බන්ධ කථා පුවත් වෙති.


මඩුවන්වෙල දිස‍ාවේ දැඩි ජාති හිතෛෂියෙකි. එහෙත් දැඩි රදල ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. පහත්යැයි සම්මත කුලයේ ක‍ාන්තාවන්ට උඩුකය ආවර්ණය කරගැනීමට අවසර නොවූ අතර පිරිමින් උඩු රැවුල කැපීමේදී දිසාවගෙන් අවසර ගත යුතුව තිබී ඇත. මෙම ප්‍රදේශයට පැමිණෙන ඉංග්‍රීසි ජාතික නිලධාරීන් හට නවාතැන් ගැනීමට සුරිය කන්ද ප්‍රදේශයේ සංචාරක බන්ගලාවක් තිබී ඇත. වරක් එහි පැමිණි නිලධාරියෙකු නොදන්වා වලව්වට පැමිණීම හේතුවෙන් වලව්වෙන් එලවා දමා ඇති අතර තවත් නිලධාරියෙකු එසේ පැමිණි වරදට ගස් බැද ඇතැයි පැවසේ. එවකට කොලොන්න ප්‍ර‍ෙද්ශයේ ඇති ඇරුව්පෝරුව ඔය නම් ස්ථානය එගොඩ වීමට පාලමක් තිබී නැත. ඉංග්‍රීසි ජාතික නිලධාරීන් හා ප්‍රභූ වරුන් එගොඩ කිරීම කිහිපදෙනෙකු විසින් කර මතින් සිදු කර ඇත. දිසාව විසින් සුදු නිලධාරීන්ගෙන් කීප වරක්ම මෙම ස්ථානයට පාලමක් ඉල්ලා ප්‍රතිචාර ‍ෙනාලැබී ඇත. එකතරා වකවානුවක එය ගලන දිනෙක එගොඩ වීමට පැමිණි ඉංග්‍රීසි ජාතික ඒජන්ත වරයෙකු දිසාව විසින් උපක්‍රමශීලීව වතුරට දම්මවා ඇත. මෙහිදී අධික ලැජ්ජාවට පත් සුදු ඒජන්තවරයා මෙම ස්ථානයේ පාලමක් ඉදි කොට ඇත. සුදු පාලකින් හට මහත් හිසරදයක්ව සිටි දිසාව ඔවුන් විසින් හදුන්වා ඇත්තේ කලු කුමාරයා යන නමින් බව කියවේ. එවකට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා පැවැත් වූ භෝජන සංග්‍රහයට දිසාවටද ඇරයුම් ලැබී ඇත. එහි පැමිණෙන සියළු දෙනාම කලිසම් ඇදිය යුතු යැයි නියමව තිබුනද මහ දිසාව තමාට සුපුරුදු සරම ඇඳගෙන ගොස් ඇත. අද මඩුවන්වෙල වලව්ව නැරඹීමට යන ඕනෑම අයෙකු‍ට එහි පැවති අතීත ශ්‍රී විභූතිය මැනවින් වටහා ගත හැක.



දිසාවගේ ජීවිත අවසාන භාගය රෝගී තත්වයෙන් ගත කර ඇත. ඔහුලේ පාදයේ කලවේ ඇති වූ විශාල ගෙඩියක් හේතුවෙන් ඔහු බෙහෙවින්ම වේදනා විද ඇත. ශ්‍රී ලංකාවේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික ආර්.එල්.ස්පිට්ල් මහතා මහ දිසාවගේ පාදයේ හටගත් ගෙඩිය පලා බෙහෙත් දමා ඇත. පැයකුත් විනාඩි 07 ක් නිර්වින්දනයෙන් තොරව මෙම ශෛල්‍ය කර්මය සිදුකොට ඇතැයි සඳහන් වන අතර තමා දුටු අපූර්ව මිනිසෙකු හා ධෛර්යය සම්පන්න අරුම පුදුම න‍ායකයෙකු ලෙසින් ස්පිට්ල් මහතා මහදිසාව පිළිබඳ තම වනගත ලංකා නම් පොතේ සඳහන් කර ඇත. මෙම ශෛල්‍යකර්මය සිදුකරනා මෙහොතේ ජුවාමුලාදෑනි හා බුලත් සිංහල රාලහාමි නම් අයද එහි සිට ඇත. මහ දිසාපති තුමාට වේදනාවක් දැනුනේ නැද්දැයි විමසු විට වේදනාව මට දැනුනා ඒත් මම කෙදිරිගෑවා නම් සිංහලයාට ඒක ලැජ්ජාවක් ඒ නිසා මම නිහඩව සිටියා යයි පවසා ඇත. මෙම රෝගී තත්වයද වයස්ගත වීම හේතුවෙන් ද මඩුවන්වෙල මහා දිසාව 1930 සැප්තැම්බර් මස 06 වැනිදා මිය ගොස් ඇත. අද අප වලව්ව භූමියට ඇතුල්වන් ගල් ආරුක්කු දොරටුව දකුණු පසින් පිහිටි සොහොන මහදිසාව මිහිදන් කළ ස්ථානයයි. කොළොන්න කොරළයේ අභිමානවත් සිංහල නායකයා වූ මඩුවන්වෙල මහ දිසාවගේ අවසානයත් සමඟ වලව්වේ ඉඩම් සහ දේපොල විනාශමුඛයට ඇද වැටින. අක්කර 13 ක භූමි භගයක් පුරා විද්‍යා රක්ෂිත කළාපයක් උවද එහි ඉඩම් ප්‍රදේශවාසීන් විසින් පෞද්ගලික වාසස්ථාන හා ඉඩකඩම් සඳහා යොදාගනිති යයි එහි පුරාවිද්‍යා නිලධාරීහු පවසති. වලව්වේ දේපොල හා සම්පත්ද විනාශමුඛය කරා ඇද වැටී යයි. මඩුවන්වෙල වලව්ව අප සතු වටිනා සම්පතකි. මෙවැනි වටිනා භෞතික සම්පත් සහ එහි අභිමානය රැක ගැනීම අප කාගේත් වගකීමක් මෙන්ම යුතුකමකි.


වවුල්පන හිරිගල් ගුහාව

වවුල්පන හිරිගල් ගුහාව


වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට අයත් වවුල්පන රක්ෂිත වනය තුල පිහිටා ඇති මෙම හුණුගල් ගුහාව වවුලන්ගේ වාවස්ථානයක් ලෙසින් ප්‍රචලිත වී ඇත. කිසි‍ෙස්ත්ම අවධානය යොමු ‍ෙනාකරන කරුණ නම් එය පාරිසරක භූගෝලීය හා ඵෙතිහාසික වශයෙන් ඉතා වැදගත් කමකින් යුතු ස්ථානයක් වන බවයි. 1942 දී ශ්‍රී ලංකාවේ ජාතික සිතියම සකස් කිරීමේදී වවුල්පන ගුහාව අතුලත් වන පරිදි අක්කර 29 රූඩ් 02 ක කැලෑ ප්‍රදේශයක් රක්ෂිත වනාන්තරයක් ලෙස වෙන්කර ප්‍රකාශයට පත් කර ඇත. .


වවුල්පන හිරිගල් ගුහාව පිළිබ්‍ඳ විද්වතුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වූයේ 1977 සිටය. වවුල්පන හිරිගල් ගුහාව පිළිබඳ විද්වතුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වූයේ 1977 සිටය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විවිධ පුද්ගලයින් එතැන් සිට මේ දක්වා පරීක්ෂණ සිදු කෙරුනු අතර ඒ සියල්ලගේ ප්‍රතිඵලයක් ලෙස රක්ෂිතය අක්කර 50 දක්වා වැඩි කොට වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට නතුකොට ඇත.


වර්ෂ 1963 දී ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශය සමග ඒකාබද්ධව මෙහි භූ විද්‍යාත්මක පසුබිම පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් සිදු කර මෙම ගල් ගුහාව වසර මිලියන 500 පැරණි බවට තහවුරු කොට ඇත.


1972 Ceylon traveler නම් ග්‍රන්ථයට ලිපියක් සපයමින් ආතර් සී ක්ලාක් මහතාද එම කාල නීර්නය සනාථ කර ඇත.


සබරගමු පල‍ාතේ රත්නපුර දිස්ත්‍රික්කය තුල කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඹුරුගමුව ග්‍ර‍ාම‍ෙස්වා වසම තුල වවුල්පන ගම්මානය පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 912 උසකින් පිහිටා ඇති වවුල්පන ගම්මානය රක්වාන කඳුවැටියට යාව පිහිටි උසින් අඩි 1400 ක් පමණ වන බුලුතොට කදුවැටිය අයත්ව පිහිටා ඇත. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මායිමද බෙදෙනුයේ වවුල්පන ගම්මානය ආසන්නයෙන්ම වීම විශේෂත්වයකි. වවුල්පන හුණුගල්ගුහාවේ සිට මෙම සීමා මායිමට මීටර් 300 පමණ දුරකින් පිහිටා ඇත.


පල්ලේබැද්ද තුංතොට මංසන්ධියෙන් දකුණු දෙසට ඇති කටුකුඹුර මාර්ගයේ කටුකුඹුරට පැමිණ කිලෝමීටර් 12 පමණ පැමිණ එතැන් සිට වවුපන සංවර්ධන මාවතට පිවිස කිලෝමීටර් 03 ක් පමණ දුරින් හුණුගල් ගුහාව පිහිටා ඇත.


ඉතා ආසන්නම මාර්ගය වනුයේ උඩවලව බැරියල් හංදියෙන් දකුණට හැරී රක්වාන ගඟ නව යකඩ පාලම පසුකොට මධ්‍යම අ‍ෙදාළුව හරහා ඉහළ ආදොළුව පාරෙන් කෝන්ගස්තොට හරහා මුළු දුර කිලෝමීටර් 7 ක් පමණ යෑමේදී වවුල්පන සංවර්ධන මාවතට පිවිසිය හැක. මෙම ම‍ාර්ගය ආදොළුව නිම්නය අභියසින් ඉතා මන බදින ආකාරයෙන් පිහි‍ටා ඇත. අක්ෂාංශ ගත පිහිටීම අනූව සමය උතුරු අක්ෂාශක 622. – 627 හා නැගෙනහිර දේශාංශගත 80.46-8048 අතර පිහිටා ඇත.


දේශගුණික වශයෙන් අතරමැදි කළාපයට අයත් ඊසාන දිග මෝසම් මගින් සැලකිය යුතු වර්ෂාපතනයක් ලබන මෙම පෙදෙස මධ්‍යම වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2500 පමණ වන අතර උෂ්ණත්වය සෙලිසියස් අංශක 27-30 ක් පමණ වේ.


ගතට සෞම්‍ය දේශගුණ තත්වයක් දැනෙන මෙම පෙදෙසේ ජීවත් වන ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන් කටයුතු වන අතර ගම්මිරිස්, කරාඹු නැටි., කුරුදු ඉතා සාරවත් ලෙස වගා කර ඇත.

වවුල්පන හුණුගල් ගුහාව තුලින් ඉතා මනස්කාන්ත ලෙස හල්වින්න දොල ගලා බසී. වලවේ ග‍ඟේ අතුගංගාවක් වන ආදොළුව ගඟ පෝෂණය කරන මෙම ගංඟා සියල්ලගේම පෝෂක ප්‍රදේශය වන්නේ රක්වාන කඳු වැටියයි. හුණුගල් ගුහාවෙන් පිටවීම සඳහා ඇත්තේ අඩි 20 පමණ උසින් යුතු එක් දොරටුවකි. පිටවීමේ දොරටුව වම් පසින් මීටර් 20 පමණ දුරකින් අඩි 300 ක් පමණ දිගින් යුතු කිරිගරුඩ පර්වතයක් දැකගත හැකි අතර දොරටුව දකුණුපසින් පිහිටි හුණුගල් බිත්ති වල වසර මිලියන ගණනක් පැරණි ශාක හා සත්ව පොසිල දැකගත හැකිය. එයට ආසන්නයේ පැරණි කොරල් ආකාර හුණුගල් පවතින ස්ථානයක්ද දැකගත හැකිය. වම් පසින් වූ ඛාදනයට ලක් වූ ගුහා ලක්ෂණ සහිත අඩි 200 පමණ ප්‍රදේශයක්ද දැකගත හැකිය.


වවුල්පන හුණුගල් ගුහාවේ අභ්‍යන්තරය සැබවින්ම ස්වභාවික මූර්ති නිර්මාණයන්ගෙන් සැදුම්ලත් කළාගාරයක් වැනිය. ගුහා ආසන්නයට පෙනපිඬු නගමින් ඇද හැලෙන අභ්‍යන්තර දිය ඇල්ලෙන් විසිරෙන සිහින් දිය බිදිති ගතට ගෙන දෙන ප්‍රබෝධය වචනයෙන් විස්තර කල නොහැක. අදුරු හුණුගල් ගුහාව තුල පහන් එලියෙන් පෙනෙන චිත්‍රය සිතට ගුප්ත බයක් ගෙන දුන්නද චමත්කාර ජනක බවින් පිරී ඇත. වවුල්පනේ යන නාමය තුලම වවුලන් පිළිබඳ අර්ථයක් ගම්‍ය වන බව නොරහසකි. ගුහාවේ දොරටුවෙන් ඇතුළු වී හල්වින්න දොළ පහර දිගේ ගුහාව අභ්‍යන්තරයට ගමන් කිරීමේදී අප අසලින් ගමන් කරන වවුලන්ගේ අදුරු ජායාවන් දැක ගත හැකිය. හොදින් එළිය අල්ලා ගුහාවේ ඉහළ පියස්ස පිරික්ෂීමේදී ගුහාව තුල සැරිසරන වවුලන්ගේ අදුරු ජායාවන් දැකගත හැකිය. හොදන් ආලෝක ධාරාවක් මත ගුහාවේ ඉහළ පියස්ස පිරක්සීමේදී එහි එල්ලී සිටින වවුලන් විශාල ප්‍රමාණයක් දැක ගත හැකිය.



1) රත් දුඹුරු එල වවුලා 2) ලොකු පත්‍ර නාස් වවුලා 3) දිවි වර්ණ ප්‍රත්‍ර නාස් වවුලා 4) ස්නයි වර්ගේ පත්‍ර නාස් වවුලා 5) රත් දුඹුරු අස්වලාඩන් වවුලා 6) දිගු පියාපත් වවුලා ලොකු කුඩා ගුහා සියල්ලේම අඩු වැඩි වශයෙන් වවුලන් සිටිනු දැක ගත හැකිය. කිවුල් දිය උල්පත් ගුහාව ආසන්නයේ මල්වතු කාමරය ලෙස ව්‍යවහාර කරන අතර දීර්ඝ අධ්‍යයන වලින් හෙලිවී ඇත්තේ මෙම වවුලන්ගේ තිබිරිගෙය බවයි. තවද මෙහි සිදු කළ අධ්‍යයන වලින් ‍ෙහලි වූ කරුණක් නම් වැල්ලවාය ප්‍රදේශයේ ජීවත් වන වවුලන්ද පැටව් බිහි කිරීම ට වවුල්පනේ ගුහාවට පැමිණෙන බවය. වවුලන්ට අමතරව මේ අවට වනාන්තරය තුල ක්ෂිරපායී සතුන් රාශියක් දිවි ගෙවයි. රිලවා, කබල්ලෑවා, කළු වදුරා, වල් ඌරා. තිත් මුවා, ගෝනා, ඉත්තෑවා, හාවා, ඹලු මුවා, දඩු ‍ෙල්නා, මීමින්නා, විශේෂයෙන් දැකිය හැකිය. මෙම රක්ෂිතය තුල පක්ෂි විශේෂ රාශියක්ද දැක ගත හැකිය. අධ්‍යයන වලින් හෙලි වී ඇත්තේ පක්ෂි විශේෂ 100 කට අධික ප්‍රමාණයක් ජීවත් වන බවයි. මෙහි ආවේනික පක්ෂින් ලෙස මොණරා වළි කුකුළා, අලු කෑදැත්තා, හිසකළු කොන්ඩයා, මුදුන් බොර දෙමලිච්ජා, නිල කොබෙයියා, සැළලිහිනියා, ගිරා මලිත්තා, අලු ගිරවා මයිනා යන පක්ෂින් පෙන්වා දිය හැක. ගුහාව තුල මිය යන වවුලන් ආහාරයට ගැනීමට ඒ තුල කබරගොයින් කීප දෙනෙක්ද ජීවත් වේ.


වනය තුල විෂ ඝෝර සර්පයින් අතර තිත්පොළගා, නයා, නාගමාපිලා, ආදීන්ද පිඹුරා, ඇහැටුල්ලා, වැනි විෂ අඩු උරගින්ද ලංකාවටම ආවේනික දුර්ලභ විශේෂයක් වන කරමල් බෝදිලියා ද මෙහි දුලබව දැක ගත හැකිය. තල්කොස්සා, කදුකර අභිරාව‍ා ගල් පාඩියා, බුලත් හපයා, වැනි මිරිදිය මසුන් හල්විනි දොළට ආවේනික මිරිදිය මුසුන්ය.

වවුල්පන ගුහාව තුල කෘමී සතුන් බොහොමයක් ජීවත් වෙති. මොවුන් මෙහි තුල ඇති අදුරට අනුවර්ථනය වී ඇත. ගුහාව අභ්‍යන්තරයේ ජීවත් වන කැරපොත්තන් වැනි කෘමීන් සම්පූර්ණයෙන් සුදු පැහැයෙන් යුක්ත වී ඇත. මෙම වනයට ආවේනික ශාක විශේෂ 160 ක් පමණ සිදු කළ අධ්‍යන වලින් සොයා ගැනීමට හැකි වී ඇත. කළුවර, කළු මැදිරිය, බුරුත, මිල්ල, කොළොන්, වෑවරණ, හුළංහික්, රිටිගස් ගම් මී, දිය මී, ගම්මාළු, දමින, කැටකෑල්ල ආදිය ප්‍රධාන වේ. වෘක්ෂ, පදුරු ශාක, පැලෑටි සහ වැල් වර්ගද වන අතර කහ බඹුරු වැල් වෙනිවැල් ගැට කොතල හිඹටු පුස්වැල් දැකිය හැක.


මඩු ශාකයද බහුලව මෙම ප්‍රදේශය තුල දැකිය හැක. ශ්‍රී ලාංකික අප සැමගේ වටිනා ස්වභාවික උරුමයක් වන වවුල්පන හුණු ගල් ගුහාව ප්‍රමුඛ රක්ෂිත වනාන්තරය පිළිබඳව වැඩි අවධානයක් යොමු විය යුතුය. එහි සංරක්ෂන තත්වය ඉහල මට්ටමකට ගෙන ආ යුතු වේ. පලාත් පාලන ආයතනය හා වෙනත් සංවිධාන විසින් සිදුකරන සංවර්ධන කටයුතු මෙහි ඉදිරි පැවැත්ම කෙරේ විනාශයට හේතු වන අයුරින් සිදුවීම වැලැක්විය යුතු වේ. පසුගිය වකවානුවේ කොළොන්න ප්‍රාදේශීය සභාව මගින් සුර්යය ශක්තිය උපයෝගී කොට ගුහාව තුල විදුලි බුබුළු දැල්විය. පසුව මෙහි වෙසෙන වවුලන් ගුහාව තුලින් ඉවත්ව යෑම වලක්වාලිය නොහැකි විය. පසුව විදුලි සැපයුම් ඉවත් කළද එහි අනිසි ප්‍රතිඵල අදටත් දැකිය හැකිය. හුණුගල් ගුහාට ප්‍රවේශ වීම සඳහා කිවුල් දිය උල්පත විනාශ වන අයුරින් මාර්ගයක් නිර්මාණය කිරීමට සැරසීම කාගේ යෝජනාවක්ද යන්න ජාතික වශයෙන් සොයා බැලිය යුතු කාරණාවකි. නීති විරෝධි මැණික් ගැරීම වනය පුරා දැකගත හැක. මෙම වනාන්තරයේ වටිනා ශාක දැව ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම කෙරේ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ‍‍ෙව්. විශේෂයෙන් මෙම වටිනා ස්ථානය දැක බලා ගැනීමට පැමිණෙන සංචාරකයන් එහි වන සතුනට හා ගහකාළ වලට හුණුගල් ගුහාවටද හානි සිදු නොවන අයුරින් මනා සංයමයකින් යුතුව කටයුතු කිරිමට වග බලා ගත යුතුය. ඔවුන් රැගෙනවිත් පානය කළ මත්පැන් බෝතල හල්විනි දොලේ තැනින් තැන බිද දමා ගොස් ඇත. මෙමගින් මෙහි පැමිණෙන පාසැල් ශිෂ්‍යයන් සංචාරකයින් හට මහත් අවධානම් තත්වයකට මුහුණ පෑමට සිදුවේ. සංචාරකයින් රැගෙන එන පොලිතින් මළු තැන තැන දමා යෑම පාරිසරික වශයෙන් විශාල ගැටළු රාශියක් මතුකරයි. වවුල්පන හිරිගල් ගුහාව අප සතු මහගු ස්වභාවික සම්පතකි. එය ආශ්‍රිත පරිසරයද අප සතු ජාතික උරුමයන්ය. මෙම සියළු කරුණු සැලකිල්ලට ගෙන මෙම මහඟු සම්පත අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තබා ගැනීම වර්තමානයේ ජිවත් වන අප සැමගේ යුතුකමක් හා වගකීමක් වන්නේය.


සංඛපාල රජමහා විහාරය

සංඛපාල රජමහා විහාරය

කොළඹ ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට කිලෝ මීටර් 132 දුරින් පල්ලේ බැද්ද නම් නගරයකි. එම නගරය පසු කර ඉදිරියට තවත් කිලෝමීටර් 7 ක් පමණ දුරක් ගමන්කිරීමේදී මනස්කාන්ත ගිරිශිඛර සහිත කදු වැටිය පාමුල සංඛපාල රජමහා විහාරය පිහිටා ඇත.


රත්නපුර දිස්තික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශිය ‍ෙල්කම් බල ප්‍රදේශයට අයත්ව පිහිටා ඇති සංඛපාල විහාරය ගිරිසිඛර මත පිහිටි ස්වභාවික ගල් ලෙන් හා පසුව ඉදිකල විහාර ආරාම ගොඩනැගිලි වලින් සමන්විත මනස්කාන්ත පුද බිමකි. භූගෝලීය පිහිටීම අනූව අතරමැදි කළාපයට අයත් වන සංඛපාල කදුවැටිය මුහුදු මට්ටමේ සිට අඩි 800 පමණ උසකින් පිහිටා ඇත.


සංඛපාල විහාරයේ ඉතිහාසය කිස්තුපූර්ව යුගය දක්වා දිවයන්නකි. ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ රජෙකු වු දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙකු වූ ඵුස්සදේව යෝධයා හා සංඛපාල විහාරය අතර පැවති සම්බන්ධතාවය හේතු කොට ගෙනය.


ඵුස්සදේව යෝධයා දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි දසමහා යෝධයන් අතරින් හක් පිඹීමේ කටයුත්ත භාරව සිටි සෙන්පතියාය. රජු ඇතුළු සේනාව ජය ගන්නා සටන් හක් පිඹීමෙන් රටවැස්සන්ට දැක්වීමේ කාර්යය ඵුස්සදේව යෝධයා ඉටු කොට ඇත. ඵුස්සදේව යෝධයා පසුව සංඛපාල විහාරය ගොඩනගා එහි මහන දම්පුරා මහාරහත් භාවයට පත්වූ බව සඳහන් වෙයි.


ඵුස්ස දේව යෝධයා මෙම ප්‍රදේශයේ විසුවද ඔහු මොණරාගල මාලිගාවිල ප්‍රදේශයේ උපන් අයෙක් බව ‍ෙළුතිහාසික තොරතුරු හෙලි කරයි. ඔහුගේ පියාගේ නම උත්පල නම් ගම්පතියාය. හක්පිඹීමේ හා දුණු ශිල්පයේ දක්ෂයෙකු වූ ඵුස්ස දේව යෝධයාගේ ලාංජනය හක්ගෙඩියයි. විජිත පුර සටන ජයගත් දුටුගැමුණු මහරජු තම සෙනෙවියන් හට ගම්වර පිරිනමා ඇත. ඵුස්සදේව යෝධයා හට පල්ලේබැද්ද ගම්වරය පරිනමා ඇත. මෙම විහාරය පිහිටා ඇත්තේ පල්ලේබැද්ද ගම්වරය තුලයි.


මෙම කදුමුදුනේ පිහිටා ඇති හක්ගෙඩිගල නම් විශාල ගල්පර්වතය මත ඔහු විජිත පුර සටනේදී භාවිතා කල හක්ගෙඩිය තැන්පත් කර ඇති බවත් එම හේතුව නිසා මෙම විහාරයට සංඛපාල විහාරය යන නම පටබැදී ඇති බවත් ජනප්‍රවාදයේ එයි.


සංඛපාල විහාරය පිහිටි කදුවැටිය පුරා පුරාවිද්‍යා පර්යේෂණ සිදුකොට එමගින් කටාරම් කෙටු ගල් ලෙන් 14 ගල්කණු විහාර ආරාම ගොඩනැගිලි නටඹුන් ආදිය හමුවී ඇත. ඇතැම් ගල්ලෙන් තුල ඵුස්සදේව යන නාමය සඳන්වීම ඔහු මෙහි විසූ බවට කදිම සාක්ෂියකි. කලක් ඉතා ශශ්‍රීකව පැවති මෙම පුන්‍ය භූමිය පසුකල සතුරු උපද්‍රව හේතු කොටගෙන වන මැද වල්බිහිවී හුදකලා වී ඇත. ශ්‍රී ලංකාව ජන කොටසක් මෙම විහාරය විනාශ කොට මෙහි තිබූ 18 රියන් ලෝහ බුදුපිලිමය අසල පිහිටි රක්වාන ගඟට ඇද දැමූ බවත් එය ඇදගෙන ගිය පාර පිලිම ඇද්ද ආර ලෙස හදුන්වන බවත් විහාරවාසී භික්ෂුන් වහන්සේලා පවසති.


එවකට මහනුවර රජවූ රාජාධිරාජසිංහ රජු සමයේ කරකොට ධර්මාරාම හිමියන්ට නව ගමුවකින් යුතු පල්ලේබැද්ද ගම්වරය ත්‍යාග ලෙස ලැබී ඇත.


වැලිවිට සරණකර සංඝරාජ හිමියන්ගේ ශීෂ්‍යයෙකු වශයෙන් කරනකොට ධර්මාරාම හිමියන් සූත්‍ර, අභිධර්ම, විනය හා භාෂා ඥානය පිළිබ්‍ඳ වියතෙකු විය.


ධර්මාරාම හිමියන් පසුකලෙක රාජාධිරාජසිංහ රජුගේ උදහසට ලක්වී සිරගතවීමට සිදුවිය.


කරතොට ධර්මාරාම හිමියන් සිරගතව සිටියදී බාරසකාව්‍ය නම් ශාස්ත්‍රීය ප්‍රබන්ධයක් රචනා කර ඇත.එක් කවියකින් කවි දොලහක් තිබෙන ආකාරයට රචනාකර තිබූ මෙය එවකට සිරිලක තුල සිටි සියළු පඩිවරුන් ගෙන්වා තෝරාදෙන ලෙස කීවද ඔවුන් හට තේරුම් ගත නොහැකි වූ හෙයින් නැවතත් ධර්මාරාම හිමි ගෙන්වා එය අර්ථ කථනය කර ගැනීමට සිදුවිය. එයිනි පැහැදුන රජතුමා කරතොට ධර්මාරාම හිමියන්ට පල්ලේබැද්ද ගම්වරය හා සඛපාල රජමහා විහාරයද පිරිනමන ලද අතර පසුව ශ්‍රී පාදස්ථානයේ හා පහතරට සංඝනායක පදවියෙන්ද ධර්මාරම හිමියන් පුදන ලදී. රාජාධිරාජසිංහ රජු විසින් මෙම ගම්වරයට අක්කර 15000 කට ආසන්න භූමි ප්‍රමාණයක් අයත් වුවද ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ අක්කර 4000 රජයට පවරාගෙන ඇත. මෙහිදි රජු විසින් සිංහයා සිහිත දිසා කොඩිය ඇත්දළයෙන් නිමවූ මිටක් සහිත වටාපත. රන් බුදු පිළිමය හා නින්දගම් පුජාව පිළිබඳ සඳහන් සන්නස හා තුඩපත මේ දක්වාම සුරක්ෂිතව මෙහි තබා ඇත.


රාජාධි රාජසිංහ රජු විසින් කරතො‍ට ධම්මාරාම හිමිට පුජාකරන ලද සූර්යය සහ චන්ද්‍රයාගේ සිතුවම් සහිත සිංහයෙකුගේ රූපයක් ඇත. වටාපත සියුම් ඇත්දළ කැටයම් හා ලියවැල් වලින් අලංකාර වූ මිටක් සහිතව රත් පැහැ විල්ලුද රෙද්දකින් නිමවා ඇත. රන් බුදු පිළිමය නුවර යුගයට අයත් වූවකි. අගල් 8 පමණ උසකින් යුත් මිටි පිළිමයකි. සිරස්පලත සිහිත මෙම පිළිමයේ ඒකාංශ කොට සිවුර පොරවා ඇත. මෙහි ඇත්දළින් නිම වන ලද හිටි පිළිමයක්ද දක්නට ඇත. කලුමැදිරි ලීයක් මත ලිය වැල් සහිත ඇත්දත් කැටයම් කරන ලද පුස්කොළ පොත් 2 ක්ද ඇත. රන් පන්හිදක්ද ඉතා සරක්ෂිතව තබා ඇත. රජු විසින් ගම්වරය පූජා කිරීම පිළිබඳව තඹ පත හා සන්නස මෙහි සුරක්ෂිතව ඇත. මෙම කදුවැටිය තුල ගල්ලෙන් 14 පුරාවිද්‍යා සමීක්ෂණ මගින් සොයාගෙන ඇත. මේවා විශාල ප්‍රමාණයක් කටාරම් කොටා ඇති අතර ලෙන් තුනක සෙල් ලිපි දැක ගැනීමට හැකිය. පුරා විද්‍යා පර්යේෂණ වලින් අනාවරණය කරගනු ලැබූ තොරතුරු ලෙන් නම් කරන ලද අංක අනූව පිළිවෙලට පහතින් දැක්වේ.


අංක 1 දරණ ලෙන කන්දේ නැගෙනහිර පිහිටා ඇත. දිග අඩි 40 පළල අඩි 25 ක්ද වේ. උස අඩි 19 කටාරම් ඇත. බ්‍රහ්මී අක්ෂර සෙල්ලිපියකි. මෑතකදී ඉදිකර ඇති මැටි කුටියක් වෙයි.


අංක 02 දරණ ලෙන කන්දේ නැගෙනහිර පස ගිනිකොනට මහුණ ල‍ා ඇත. දිග අඩි 40 ක්ද උස අඩි 20 ක්ද වේ. කටාරම් කොටා ඇති අතර සෙල් ලිපි නැත. උඵ සෙවිලිකර මෑතකදී ඉදිකල කුටියක් වේ.


අංක 03 දරණ ලෙන කන්දේ නැගෙනහිර පස ගනිකොනට මුහුණලා ඇත. දිග අඩි 25 ක්ද පළල අඩි 20 ක්ද උස අඩි 10 ක්ද වේ. කටාරම් හෝ සෙල්ලිපි කොටා නැති අතර මෙතුල කතරගම දෙවියන්ගේ දෙවොල තනා ඇත.


අංක 04 දරණ ලෙන කන්දේ නැගෙනහිර පස බටහිරට මුහුණ ලා පිහිටා ඇත. ලෙන දෙකට පිපිරී ඇත. දිග අඩි 78 ක් පළල අඩි 34 ක්ද උස අඩි 18 ක්ද වේ. කටාරමට පහල බ්‍රහ්මී අක්ෂර සෙල් ලිපි 02 කි. කටාරමට පහලින් ‍ෛ‍චත්‍ය රුවක්ද කොටා ඇත. මෙම චෛත්‍ය ආකාරය වර්තමානයේ ලංකාවේ දැකගත නොහැකිය. චෛත්‍ය හතරැස් කොටුව වෙනුවට රවුම් කුම්භාකාර ලකුණක් ඇත. චෛත්‍ය පසෙකින් ගල්කණුවක රූපයකි. රූපයේ දැක්වෙන චෛත්‍ය පෙර කලෙක සංඛපාල විහාර භූමියේ තිබී ගරා වැටී ගිය එකක් ලෙස එහි හිමිවරු විශ්වාස කරති. මෙතුල ප්‍රධාන බුදුමැදුර පවත්වාගෙන යන අතර මෙහි 18 රියන් සැතපෙන බුදුපිළිමයක් ඇත.


අංක 05 දරණ ලෙන කන්දේ නැගෙනහිර පස ගිනිකොන දෙසට මුහුණලා ඇත. දිග අඩි 62 යි. පළල අඩි 18 කි. උස අඩි 30 කි. කටාරම් ‍‍‍‍ෙකාටා ඇත. බුදුමැදුරක් ‍මෙහි දැක ගත හැක.


අංක 06 දරණ ලෙන කන්ද නැ‍නෙහිර පස දකුණට මුහුන ලා ඇත. දිග අඩි 14 කි. පළල අඩි 14 කි. උස අඩි 17 කි. කටාරම් ‍‍‍‍‍‍‍සෙල් ලිපි නැත.


අංක 08 දරණ ‍‍‍‍ ලෙන කන්දේ නැ‍‍ගනෙහිර පස දකුණු ‍‍දෙසට මුහුණලා ඇත. දිග අඩි 24 යි. පළල අඩි 13 යි. උස අඩි 12 කි. ලෙනේ පියස්සේ කටාරම් 02 කි. සෙල්ලිපි නැත. භාවනා කුටියක් ලෙස භාවිතා කරයි.


අංක 09 දරණ ලෙන කන්දේ බටහිර නිරිත දෙසට මුහුණ ලා පිහිටා ඇත. දිග අඩි 31 යි. පළල අඩි 20 යි. උඩ අඩි 09 කි. කටාරම් සෙල්ලිපි නැත.


අංක 10 දරණ ලෙන කන්දේ බටහිර පැත්තේ ඊසාන දෙසට මුහුණලා ඇත. දිග අඩි 22 යි. පළල අඩි 20 යි. උස අඩි 09 කි. කටාරම් සෙල්ලිපි නැත.


අංක 11 දරණ ලෙන ඵුස්සදේව තෙරගේ සොහොන සමීපයේ බටහිර දෙසට මුහුණ ලා ඇත. දිග අඩි 25 කි. පළල අඩි 12 කි. උස අඩි 13 කි. කටාරම් ඇත. සෙල්ලිපි නැත.


අංක 12 දරණ ලෙන පර්වතය පාමුල නැගෙනහිර පැත්තේ සංඝාවාසයට පිටුපසින් පිහිටා ඇත. දිග අඩි 25 යි. පළල අඩි 12යි. උස අඩි 13 කි. කටාරම් ඇත. සෙල්ලිපි නැත.


අංක 13 දරණ ලෙන සංඝාවාසයට පිටුපස ඊසාන ‍ෙදසට මුහුණලා පිහිටයි. දිග අඩි 14 යි. පළල අඩි 17 යි. උස අඩි 12 යි. කටාරම් සෙල්ලිපි නැත.


අංක 14 දරණ ලෙන


කන්දේ නැගෙනහිර පස දකුණට මුහුණලා පිහිටයි. දිග අඩි 25 යි. පළල අඩි 19 යි. උස අඩි 08 කි. කටාරම් සෙල්ලිපි නැත.


සංඛපාල විහාර සීමාවේ වර්ථමාන චෛත්‍ය ඉහලින් ඇති ගල්පර්වතය මත බුදුන්වහන්සේගේ පාද ලාජනයක් කොටා ඇත.


ගල්ලෙන තුල දැකිය හැකි සෙල්ලිපි විස්තර මෙසේය.


අංක 01 දරණ ලෙනේ ලිපිය උපශක ශොණශ ලෙණේ ශහශ ශපද්තේ නම (සෝන උපාසක විසින් සුපතිට්ඨිත නම් නෙ සංඝයාට පූජා කරන ලදී)


අංක 04 දරණ ලෙනේ ලිපිය


(i) ප්‍රශ දෙශ ප්‍රශ ගුතශ දනේ ලෙණේ ඵුස්ස් දේවගේ පුත්‍ර වූ ගුත්තගේ ත්‍යාගය වූ ලෙන


(ii) පුත ප්‍රශ දේවශ ලෙණ ශහශ ගේ පුත්‍ර වූ ඵුස්ස දේවගේ ලෙන සංඝයාට පූජාකරන ලදී.


මෙම ප්‍රදේශය අතර මැදි කලාපයට අයත්ව පිහිටා ඇත. අතරමැදි කලාපීය මෝසම් වනාන්තර මෙන්ම තෘණ භූමි මෙහිදී දැක ගත හැකිය.

මෙම කදු ප්‍රදේශයෙන් ගලා හැ‍ෙලන රමණිය දිය දහරාවන් ප්‍රධාන වශයෙන් සිංහරාජ අඩවියෙන් ආරම්භ වී දිගු දුරක් පැමිණ සංඛපාල විහාරය ආසන්නයෙන් ගලනා රක්වාන නදිය පෝෂණය කරයි.

මෙම කඳු ප්‍රදේශයේ නිරීක්ෂණය කළ ගස් වර්ග අතර විශාලව වැඩුනු කදන් සහිත පණුමුගුන, මිල්ල, බුරුත, කෝං, කර තෙලඹු, කළුවර, කළු මැදිරිය ආදිය දැකිය හැක.

මෙම ශිඛරය වාසස්ථානය කර තිත්මුවා, වල් ඌරා, ඕලු මුවා, ගෝනා, වදුරා, රිලවා, ඉත්තෑවා සහ ඉදහිට දිවියන්ද දැක ඇති පුද්ගලයින්ද මෙම ප්‍රදේශයේ වාසය කරයි.

මෙහි දිවි ගෙවන ක්ෂිරපායීන් පක්ෂීන් උරගයින් මෙන්ම උභය ජීවීන්ගේ විවිධත්වය ඉතා සංකීර්ණ වනවා සේම පරිසර පද්ධතිය ඉහත තත්වයකින් සැකසී ඇත. මෙම සංඛපාල කදුවැටිය අතීත උරුමයන් සමූහයක හා ශාක සත්ව ජාලයකපරවරත්ම කියාපාන තෝතැන්නකි.

අනාගත පරපුර උදෙසා මෙම සියළු සම්පත් රැකගැනීමටනම් සංඛපාල කදුවැ‍ටිය ආරක්ෂා කරගත යුතුය. විහාර භූමියේ පැයක් පමණ රැදී සිටින විට ගල් බෝර විශාල ප්‍රමාණය ශබ්දය, කම්පනය, දැඩි දෙදරුම මෙහි උරුමයන් වල වටිනාකම දන්නා කිසිවෙකුට දරාගත නොහැක. විහාරාසන්න ප්‍රදේශය තුල මහා පරිපාමානයෙන් ගල්කැඩීමට අවසර හා බලය ලබා දුන් පුද්ගලයින් මුදලට ගිජු වී සිදු කරන මෙම ක්‍රියාවලිය තුලින් අනාගත පරපුර වෙනුවෙන් තව කොතෙක් කාලයක් සංඛපාල පෞරාණිකත්වය රැකේද යන්න අවිනිශ්චිත වී ඇත. ‍ෙඑතිහාසික ස්මාරක මෙම දෙදරුමෙන් විනාශ වනවාසේම කදුමුදුනේ ඇති විශාල ගල් පර්වත නාය යෑමෙන් විහාර පෙදෙස මුලුමනින්ම විනාශ වීමට ඉඩ ඇත.

දැඩි ඉඩෝරකාලයට හේන් ගොවිතැන සඳහා අසල කදු ගිනිගෙන දැවෙන දර්ශනය සිත සසල කරවන සුළුය. එම ප්‍රදේශ සදාකාලිකවම ගස් නොමැති තෘණ භූමියක් බවට පත්ව ඇත.

කදු මුදුනේ ඇති ඵෙතිහාසික ස්ථාන රාශියක් මේ වන විට පුරා වස්තු මංකොල්ලකරුවන් විසින් ගල් වෙඩි දමා විනාශ කර ඇත.


ඵුස්සදේව තෙරුන්ගේ සොහොනද මේ ආසන්නයේ පිහිටි වැදගත් ස්ථානයකි. විහාර භූමියේ සිට පල්ලේබැද්ද දෙසට මද දුරක් ගමන් කිරීමේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුවක් සවි කර එම ස්ථානය දක්වා ඇත. එහෙත් එය පුරා විද්‍යා දැන්වීම් පුවරුවට පමණක් සීමා වී ඇත. එම පැරණි ගඩොල් නිමවා ඇති ස්ථුපය නිධන් හොරුන් විසින් මුළුමනින්ම හාරා විනාශ කර ඇත.

පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව මෙතෙක් කිසදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.


සංඛපාල කන්ද රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පාරිසරික හා පෞරාණික අංගයෙන් අනූන අප සතු ජාතික සම්පතකි. මෙම සම්පත රැකගැනීම ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප සැමගේ යුතුකම හා වගකීම වන්නේය.


කොට්ටිඹුල්වල ‍‍‍‍‍ ‍‍‍‍‍‍ලෙන් විහාරය

කොට්ටිඹුල්වල ‍‍‍‍‍ ‍‍‍‍‍‍ලෙන් විහාරය

අනුරාධපුරය, පොළොන්නරුව වැනි අතීත‍ෙය් පැවති ප්‍රධාන අග නගරයක් සතුරන් ආක්‍රමනය කළ විට එවකට එහි පාලනය කළ රජවරුන් රට මැදට පැමිණ සේනා සංවිධානය කොට යුධමය වශයෙන් ඔවුන් පරාජය කොට මුළු සිංහලයම එක්සේසත් කළ බව අතීත වංශ කථාවලින් කියවේ. ඒ අතරින් අප රට මැද ‍ෙබාහෝ තැන් වල සේනා සංවිධානය කල රජෙකු ලෙස වලගම්බා රජුට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එතුමන් සේනා සංවිධානය කිරීමට කටයුතු කළ බොහෝ ප්‍රදේශ අප රට තුල සඳහන්ව ඇත. එම බොහෝ ස්ථාන වල ඉදිකල වෙහෙර විහාර හෝ ඒවායේ නිර්මාණය කළ ශිලා ලේඛණ බිතුසිතුවම් අදටත් විරාජමානව පවතී.


කොට්ටිඹුල්වල විහාරය වලගම්භා රජ සමය දක්වා වූ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකි. වැලිගෙපොල සිට සැතපුම් 5 ක් පමණ දුරකින් පිහිටි මෙම විහාරස්ථානය මදක් උස් ස්ථානයක ඉතාමත් සිත් ගන්නා සුළු ආකාරයට පිහිටා ඇත. කොට්ටිඹුල්වල රජමහා විහාරය ප්‍රධාන වශයෙන් දිගින් වැඩි ගල් ගුහාවක් මුල් කරගෙන ගොඩනගා ඇත. මෙම ගල් ‍ෙලන පියස්සේ කටාරම් කොටා තිබෙනු දක්නට ලැබෙන අතරම පැති බිත්ති බැද අලංකාරව සකස්කර තිබෙනු දැක ගත හැකිය. මෙතුල වැඩහිදින සැතපෙන බුදුපිළමය එහි යන එන කාගේත් වන්දනා මානයට ලක්වන දුලභ නිර්මාණයකි. මෙම විහාරයට නම් පටබැදීමට හේතුවද මෙම සැතපෙන බුදු පිලිමය හා බැදුනු කතාවක් බව විශ්වාසයකි.


බුදුපිළිමයේ සිරස අතීතයේ හිටුවා තිබී ඇත්තේ ඉඹුල් ගසකින් ලබාගත් කොටසකින් සකස්කරන ලද කොට්ටයකය. එය මූලාශ්‍ර කරගත් පැරණි ගැමියන් විසින් කොට්ටය ඉඹුල- වල යන නම මෙයට ව්‍යවහාර කර ඇත. කොට්ටිමුල්වල ‍විහාරයේ දැකගත හැකි චෛත්‍ය හා දේවාලද විශේෂ ස්ථානයක් ගනු ලබයි. මෙම විහාරය ආශ්‍රිතව අලංකාර බිතු සිතුවම්ද දැකගත හැකිය. මෙම සිතුවම් අතර වඩාත් කැපී පෙනෙන නිර්මාණ ලෙස අකුසල් කළ පුද්ගලයන් නිරයේ ඉපිද දුක් විදින ආකාරයත් කුසල් රැස් කළ පිරිස සුගතියේ ඉපිද සැප සම්පත් ලබා සිටින ආකාරයත් විචිත්‍රවත් ලෙස සිත්තම් කර ඇති අකාරය දැක් විය හැකිය. දස බිම්බර මාර සෙනග දැක්වෙන සිතුවමද විශිෂ්ඨ ගණයේ පැරණි බිතු සිතුවම් නිර්මාණයන්ය. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි කොට්ටිඹුල්වල රජමහා විහාරයේ තවත් විශේෂ වැදගත් කමක් ඇත. ශ්‍රී ලංකාවේ රංගිරි දඹුලු විහාරය හැරුනු කොට ලෙන් විහාරයක් අභ්‍යන්තරයේ චෛත්‍ය පිහිටි එකම ඓතිහාසික ස්ථානය කොට්ටිඹුල්වල රජමහා විහාරයය. ලෙන තුල ඉතා අලංකාර අන්දමින් චෛත නිර්මාණය කර ඇත.


කොට්ටිමුල්වල රජමහා විහාරය වංශය ඇරඹෙන්නේද වලගම්භා රජතුමා සොලීන් සමග ස‍ටන් සඳහා සේනා සංවිධානය කිරීමට රට පුරා බොහෝ වනගත ප්‍රදේශ වාසස්ථාන කරගෙන ජීවත් වී ඇත. එහිදී වසර 12 පමණ කාලයක් සිටි රජතුමා අවසාන වසර වලදී මෙම ස්ථානයේ ආරක්ෂ සහිතව යුද්ධ සඳහා සේනා සංවිධානය කරමින් වාසය කර ඇත. මෙම වකවානුවේදී රජතුමා විසින් කුඩා විහාරයක් ආරම්භ කර තම ආගමික වතාවත් සිදුකර ඇත.


මෙහි සිටින එක් අවස්ථාවක ලෙන් පියස්සේ සිටි මකුළුවෙකු තම දැල විවීමට ගන්නා උත්සහය දුටු රජතුමා එම ක්‍රියාව ආදර්ශයට ගෙන සොලීන් සමග පසු නොබැස යුද්ධ කර සටනින් ජයගත් බවත් ඉන් පසු රට එක්සේසත් කල බවත් පරම්පරාගතව පවතින කථාවකි. ජනප්‍රවාද ගත සිද්ධී ඇසුරෙන් කොට්ටිමුල්වල ඉතිහාසය ගොඩනැගී තිබුනද එහි දැකගත හැකි බොහෝ දේ අතීතයේ මෙහි පැවති සශ්‍රීකත්වයට සාක්ෂි දරනු ඇත. පුරා විද්‍යා ස්මාරකයක් ලෙස මෙම විහාරය නම් කර තිබුනද පුරා විද්‍යා බලධාරීන් මෙම විහාරය තුල කිසිදු සංරක්ෂණ කටයුත්තක් සිදු කොට ‍නොමැත. වහලය දිරා, පරවියන්ගේ රජදහක් බවට පත් වී ඇති ඓතිහාසික කොට්ටිමුල්වල රජමහා විහාරය පුරාවිද්‍යා බෝඩ් ලෑලි ගැසීම පමණක් සිදු කිරීමෙන් සංරක්ෂණය වේද? පුරාවස්තු මංකොල්ලා කරුවන්ගේ රජදහනක් වී ඇති කොට්ටිඹුල්වල රජමහා විහාරය ආරක්ෂා කර ගැනීම අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන කදිම ආයෝජනයකි.

සබරගමු කදුවැටිය මධ්‍යයේ පිහිටි උසම කන්ද සමනල කන්ද

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට නගරයෙන් වමට හැරී කිලෝමීටර් 11.5 ගමන් කළ පසු එරත්න නගරය හමු වේ. එම ස්ථානයේ සිට සිරිපා ප්‍රවේශ මාර්ගය ආරම්භ වේ. තවද රත්නපුර නගර මධ්‍යයෙන් පලාබද්දල දක්වා ඇති මාර්ගයේ ගමන් කළ හැක. මෙම මාර්ග දෙකම කදුමුදුනෙහි හැරමිටිපාන නම් ස්ථානයේදී එකිනෙක යාවේ. එතැන් සිට ගමන් කළ යුත්තේ එකම මාර්ගයකින්ය.


සබරගමු කදුවැටිය මධ්‍යයේ පිහිටි උසම කන්ද සමනල කන්ද නම් වේ. මෙය උසින් අඩි 7360 වන අතර බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා ලාංජනය මෙහි පිහිටුවා ඇත. සුවහසක් බෞද්ධ ජනීජනයාගේ පූජනීයත්වයට පාත්‍ර වී ඇති ශ්‍රී පාදස්ථානය සුමන සමන් දෙවියන් මෙහි අධිපතීත්වය දරන බවත් සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් මණීඅක්ඛීත නම් නා රජුන්ගේ ප්‍රධානත්වයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂ‍ෙයහි වෙසක් පොහෝදින ශ්‍රී පාද ලාංජනය පිහිටවූ බව වංශ කථාවේ සඳහන් වේ.


බෑනසමනල, ගවර විල, කුණුදිය පර්වථය හා, සප්තකන්‍යා නම් කදු සමූහයකින් වට වී ඇති අතර මේවා අතරින් උසම ස්ථානය සමනළ කන්ද වේ.


සමනළ කන්ද වට‍ා ගෙතුණු ජනකථා බොහෝ වේ. ඈත අතීතයේ සිටම සමනළ කන්ද නැගීමට මාර්ග දෙකක් තිබුණු බව සඳහන් වන අතර කුරුවිට, එරත්න, ගිලීමලය, පලාබද්දල හරහා මාර්ගය දකුණු සබරගමු මාර්ගය ලෙසත් උලපනේ වැලිගම්පල අඔගමුව, කෙහෙල්ගමුව මාර්ගය උතුරු රජරට මාර්ගය වශයෙනුත් හැදින්වේ. බුදුරජාණන් වහන්සේ වැඩමකරන අවධිය වන විට මැදරට රාජධානිය මහා සුමනයන්නේ පාලනයට නතුවී තිබූ අතර සමනළ ගිරි හිසට මදක් පහලින් ඇති මහා දිවාගුහාව මහා සුමනයන්ගේ වාසභවනය වී තිබූ අතර බුදුරජාණන් වහන්සේ සිරිපා පිහිටුවීමෙන් අනතුරුව බුදුහිමියන් ඇතුලු රහතුන් වහන්සේලාට දිවා විහරනය සදහා තමාගේ භවනය වූ ලෙන පිදීමෙන් පසු මෙම ලෙන දිවා ගුහාව භගවා ලෙන නමින් ප්‍රසිද්ධධියට පත්වූ බවත්, සමනළගිර අසල ඇති බෑන සමනළ පර්වථය ආසනනයේ මෙය පිහිටා ඇති බවත් විශ්වාස කෙරේ. වංශ කතා ඉතිහාසය ආරම්භයෙන් පසු බොහෝ රජවරු සිරිපා සටහන දැක වැද පුදාගත් බව හැදින් වේ. ක්‍රි.පූ. 29-17 ලක්දිව රජකල වලගම්බා රජු ක්‍රි. ව. 995-991දක්වා රජකල සිව්වැනි මිහිදු රජු ක්‍රි.ව. 1059-1114 රජකල පළමුවන විජයබාහු රජු සිරිපා වන්දනා කොට ඇත. ක්‍රි.ව. 1153-1186 දක්වා රජකම්කළ මහා පරාක්‍රමබාහු රජතුමා සිරිපා වන්දනා කර එහි ඇති මහා සමන්දේවාලය ගොඩනගා ඇත.


මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු ක්‍රි.ව. 1187-1196 දක්වා රජකම් කළ කීර්ති ශ්‍රී නිස්සංක මල්ල රජු සබරගමු මාර්ගයෙන් සමනළගිර නැග සිරිපාවැද දිවාගුහාව ලෙන අසල ශිලා ලිපි දෙකක් කරවා එක් ශිලා ලිපියක තම රුව සහිත තමා ශ්‍රී පාදය වන්දනා කළ අයුරුත් අනෙකෙහි මීට ශත වර්ෂයකට පමණ පෙර විජය බාහු රජතුමා පූජාකරන ලද අඹගමුව -කෙහෙල්ගමුව ගිලීමලේ බඹර බොටුව ආදී ශ්‍රී පාදය සතු විහාරගම්වලට කිසිවෙකුටත් හානියක් කළ නොහැකි වන පරිදි නැවතත් අයිතිය තහවුරු කළ බව සදහන් කර වර්ථමානයේ නිශ්ශංක මල්ල ලෙන නම් ලෙනෙහි ගිමන් හැර තම රාජධානය වන පොලොන්නරුව දක්වා ගමන් කළ බව මහා වංශයේ සඳහන් වේ. තවද බොහෝ රජවරු ශ්‍රී පාදස්ථානය වැදපුදාගත් අතර ක්‍රි.ව. 1581 දී බෞද්ධයිනට ශ්‍රී පාදය අහිමි වී ඇත.


1581 දී රජ වූ මයාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර පළමු වන සීතාවක රාජසිංහ රජු ‍ෙබෟද්ධයන් සමග කුපිත වී භික්ෂූන් වහන්සේලා මරා දමමින් බෞද්ධ වෙහෙර විහාර විනාශ කර ඇත. එකල භීක්ෂූන් වහන්සේලා සියලු දෑ අතහැර පලා ගොස් ඇත. හුදෙකලා වූ ශ්‍රී පාදස්ථානය රජු විසින් ආඬිපකිර්වරු නම් හින්දු පූජක වරුනට පවරා දෙන ලදී. 1581 කාලය තුල මේ ආකාරයට පැවතින. මෙකල භික්ෂූන් ‘ශිවනොලිපාදම් වශයෙන් ශ්‍රී පාදය හදුන්වා ඇත. විදේශීය ගත්කතුවරු රාශියක් අතීතයේ ශ්‍රී පාදය තරණය කොට ඒ පිළිබද ග්‍රන්ථ පල කොට ඇත. සම්බුදු සිරිපා සටහන දෑසින් දුටු විදේශිකයන් විසින් තමන් දුටු සිරිපා සටහනෙහි ප්‍රමාණයන් දක්වා ඇති අතර දසවන ශතවර්ෂයේහි පැමිණි චීන ජාතික බාඕ ජුගුවා සිරිපා සටහන අඩි 7 පමණ වේ. යැයි සදහන් කර ඇත. 16 වන ශතවර්ෂයේ (1660-1679) ලංකාවට පැමිණ සිරගතව සිට “එදා හෙළදිව” නම් ග්‍රන්ථය ලියූ රොබට් නොක්ස් විසින් පත්මයේ දිග අඩි 02 ක් පමණ වේ යැයිද සදහන් කර ඇත. ක්‍රි.ව. 1581 දී හින්දු පුජකවරුන්ට භාරකළ ශ්‍රීපාදය ක්‍රි.ව.1747 රජබවට පත් කිර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් හින්දු පූජකයින් පන්නා දමා නැවත බෞද්ධ අයිතියට ගන්නා ලදී.


වසර 171 ක්වූ හින්දු පාලන කාලය තුළ ශ්‍රී පාදස්ථානය වෙත ආගිය විදේශිකයන් ගැන දෙස් විදෙස් කිසිදු සටහනක් මෙතෙක් හමුවී නැත. එහෙත් ඔවුන්ගේ පාලන කාලය තුල ශ්‍රී පාදස්ථානය සතුව පැවැති රන් රිදී මුතු මැණික් ආදී සියල්ල ආඩින් විසින් පැහැරගෙන ගොස් තිබිණි. එපමණක් නොව පෙර රජවරුන් විසින් කරවන ලද ශිලා ලිපි සන්නස් ආදී වටිනා සිහිවටනද ආඬින් විසින් බොහෝ දුරට විනාශ කර ඇති බව වර්තමානයේදී කරන ලද පර්යේෂණ වලදී අණාවරණය වී ඇත. මහාවංශය ආදී ග්‍රන්ථයන්හි සදහන් වන්නේ සමනල ගිරි පාද ප්‍රාන්තයෙහි ක්‍රි.පු. දුටුගැමුණු රාජසමයෙහි විසූ මලිය දේව මහරහතන් වහන්සේ විසින් පලාබද්දල ප්‍රතිරාජ පිරිවෙන් විද්‍යස්ථානය ආරම්භ කරන ලද බවත්, එකම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සඟරාව ලියා ඇත්තේද මෙහි බවත් මතයක් පවතී. වසර 500කට අධික කාලයක් පැවති මෙම විද්‍යස්ථානය මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ දේවප්‍රතිරාජ නම් ඇමතිවරයෙකු විසින් සිදුකළ ප්‍රතිසංස්කරණයෙන් පසු එම ඇමතිවරයාගේ නාමය මුල් වී දේව ප්‍රතිරාජ මහා පිරිවෙන නමින් ප්‍රසිද්ධ වූ බව සදහන් වේ. පෞරාණික හා ඓතිහාසික තොරතුරු එසේ වුවද පාරිසරික වශයෙන් ශ්‍රීපාද කදුවැටිය ශ්‍රී ලාංකික සැමගේම වටිනාම සම්පතකි.


මෙහි වැසි වනාන්තර ජෛව විවිධත්වය බොහෝය. දිවයිනේ ප්‍රධාන ගංඟා රාශියක්ම ජල මූලාශ්‍රය සමනල කදු වැටියයි. මෙහි හරිත වියන තුළ සමනොල කදුවැටියට පමණක් ආවේනික ශාක බොහෝමයකි.උඩවැඩියා, බේදුරු.......වැනි ශාක බොහෝමයකි. තෙත්කළාපීය වනාන්තරයක් වන මෙය නිජබිම කරගෙන දික් කැකුණ, ගම්මාළු, කුඹුක්, මුගුණ, මොර, බදුල්ල, දඹ, මිල්ල, පෙලෙංග, ආරිද්ද කටමදා වැනි තෙත් කළාපයට ආවේනික ශාක බොහෝමයකි. මෙහි ශාක විශේෂ අතර අලිබෝ ඇසටු, ඇත්දෙමට, ඉඹුල්, කරව්, කරඳ, කටු කිතුල්, දෝතළු කටුකැන්ද, කටු කිතුල්, කැන්ද, කෑල්ල කොට්ටඹ, කොකුම්, ගොරක, ‍ෙගඩපර, ගෝනපනා, දියවර, පරසතු පලොල්, පොරෝමාර, වැලිබට, බටදොඹ, මඩොල්, මල්කෑර, මලබොඩ, බෝබු, සාදික්කා, ,ඔඩිතිය, මී, තොටිල, තිත්ත ඇට, සපු, හල්, හොර, හැඩවක, වල්දෙල්, වන ඉදල, වැරනියා විශේෂ තැනක් ගනී. තුරුලිය සුසැදි මෙම වන ගොමුව නිවහන කරගත් වනසතුන්ද බොහෝය. මෙම ශාක වියන තුළ ජීවත් වන සිවුපාවුන් අතර වල් අලීන් විශේෂ තැනක් හිමිකර ගනී. වදුරා වැලිමුවා, තිත් මුවා, හැලි වඳුරා, වල් ඌරා, වැලි මුවා, මී මින්නා, ඉත්තෑවා, කොළ දිවියා , හාවා, මුගටියා, උගුඩුවා, ඌරුමීයා, උරුලෑවා, දිවියා, කබල්ලෑයා, මෙහි වාර්ථා වන ක්ෂීරපායීන් විශේෂ කීපයකි. මෙහි දැකගත හැකි පක්ෂීන් අතර වලි කුකුළා, වැහිලේනා, මයිලගොයා, උකුස්සා, කවුඩා, කුරුළු ගොයා, බකමූණා, පොල්කිච්චා, කෑදැත්තා, බටගොයා, මයිනා, කෑරලා, සූටික්කා, නීල කොබෙයියා, දැකිය හැක. මෙහි වෙසෙන උරගයින් අතර පලාබරියා, කුණකටුවා, ඇහැටුල්ලා, පොලගා, පිඹුරා, නයා, මාපිලා, දෙපත් නයා, දියනයා, පොලොන් තෙලිස්සා, කරවලා, කබර ගොයා දැක ගත හැක. එමෙන්ම මෙහි වෙසෙන මත්ස්සයින් අතර ආදා, මඟුරා, ලූලා, කනයා, දංඩියා, බුලත් සපයා, හොරපොලයා, තල්කොස්සා, හීටයා, මිරිදිය ඉස්සන් දැකගත හැක. වේවැල්, බඹරවැල්, ඕකෙයියා වැල්, කිරිදි වැල්, කුකුල් වැල්, හිඹටු වැල්, පුස් වැල්, කුඹුරු වැල් ආදී දුර්ලභ ගණයේ වැල් වර්ගද මෙහිදී දැක ගත හැක.


මෙහි සංචාරක සමය තුළ පැමිණෙන්නන් රැගෙන එන පොලිතීන් ඇතුලු ඝන අපද්‍රව්‍ය විශාල පාරිසරික ගැටලු රැසක් මතු කර ඇත. ඔබ රැගෙන එන ආහාර පාන හා අනෙකුත් දෑ වල ඇති අපද්‍රව්‍ය ඔබ විසින්ම ආපසු රැගෙන යා යුතුය. වනය තුළින් ඔබ රැගෙන යා යුත්තේ ජායාරූප හා මිහිරි මතකයන් පමණි. ඒ කිමද යත් ශ්‍රී පාදයට පමණක් ආවේණික විසිතුරු ශාක හා පැළෑටි ඔබේ ගෙවත්තේ පැළ කළ නොහැකි බැවිනි.