Powered By Blogger

Followers

Thursday, August 25, 2011

සබරගමු කදුවැටිය මධ්‍යයේ පිහිටි උසම කන්ද සමනල කන්ද

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට නගරයෙන් වමට හැරී කිලෝමීටර් 11.5 ගමන් කළ පසු එරත්න නගරය හමු වේ. එම ස්ථානයේ සිට සිරිපා ප්‍රවේශ මාර්ගය ආරම්භ වේ. තවද රත්නපුර නගර මධ්‍යයෙන් පලාබද්දල දක්වා ඇති මාර්ගයේ ගමන් කළ හැක. මෙම මාර්ග දෙකම කදුමුදුනෙහි හැරමිටිපාන නම් ස්ථානයේදී එකිනෙක යාවේ. එතැන් සිට ගමන් කළ යුත්තේ එකම මාර්ගයකින්ය.


සබරගමු කදුවැටිය මධ්‍යයේ පිහිටි උසම කන්ද සමනල කන්ද නම් වේ. මෙය උසින් අඩි 7360 වන අතර බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා ලාංජනය මෙහි පිහිටුවා ඇත. සුවහසක් බෞද්ධ ජනීජනයාගේ පූජනීයත්වයට පාත්‍ර වී ඇති ශ්‍රී පාදස්ථානය සුමන සමන් දෙවියන් මෙහි අධිපතීත්වය දරන බවත් සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් මණීඅක්ඛීත නම් නා රජුන්ගේ ප්‍රධානත්වයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂ‍ෙයහි වෙසක් පොහෝදින ශ්‍රී පාද ලාංජනය පිහිටවූ බව වංශ කථාවේ සඳහන් වේ.


බෑනසමනල, ගවර විල, කුණුදිය පර්වථය හා, සප්තකන්‍යා නම් කදු සමූහයකින් වට වී ඇති අතර මේවා අතරින් උසම ස්ථානය සමනළ කන්ද වේ.


සමනළ කන්ද වට‍ා ගෙතුණු ජනකථා බොහෝ වේ. ඈත අතීතයේ සිටම සමනළ කන්ද නැගීමට මාර්ග දෙකක් තිබුණු බව සඳහන් වන අතර කුරුවිට, එරත්න, ගිලීමලය, පලාබද්දල හරහා මාර්ගය දකුණු සබරගමු මාර්ගය ලෙසත් උලපනේ වැලිගම්පල අඔගමුව, කෙහෙල්ගමුව මාර්ගය උතුරු රජරට මාර්ගය වශයෙනුත් හැදින්වේ. බුදුරජාණන් වහන්සේ වැඩමකරන අවධිය වන විට මැදරට රාජධානිය මහා සුමනයන්නේ පාලනයට නතුවී තිබූ අතර සමනළ ගිරි හිසට මදක් පහලින් ඇති මහා දිවාගුහාව මහා සුමනයන්ගේ වාසභවනය වී තිබූ අතර බුදුරජාණන් වහන්සේ සිරිපා පිහිටුවීමෙන් අනතුරුව බුදුහිමියන් ඇතුලු රහතුන් වහන්සේලාට දිවා විහරනය සදහා තමාගේ භවනය වූ ලෙන පිදීමෙන් පසු මෙම ලෙන දිවා ගුහාව භගවා ලෙන නමින් ප්‍රසිද්ධධියට පත්වූ බවත්, සමනළගිර අසල ඇති බෑන සමනළ පර්වථය ආසනනයේ මෙය පිහිටා ඇති බවත් විශ්වාස කෙරේ. වංශ කතා ඉතිහාසය ආරම්භයෙන් පසු බොහෝ රජවරු සිරිපා සටහන දැක වැද පුදාගත් බව හැදින් වේ. ක්‍රි.පූ. 29-17 ලක්දිව රජකල වලගම්බා රජු ක්‍රි. ව. 995-991දක්වා රජකල සිව්වැනි මිහිදු රජු ක්‍රි.ව. 1059-1114 රජකල පළමුවන විජයබාහු රජු සිරිපා වන්දනා කොට ඇත. ක්‍රි.ව. 1153-1186 දක්වා රජකම්කළ මහා පරාක්‍රමබාහු රජතුමා සිරිපා වන්දනා කර එහි ඇති මහා සමන්දේවාලය ගොඩනගා ඇත.


මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු ක්‍රි.ව. 1187-1196 දක්වා රජකම් කළ කීර්ති ශ්‍රී නිස්සංක මල්ල රජු සබරගමු මාර්ගයෙන් සමනළගිර නැග සිරිපාවැද දිවාගුහාව ලෙන අසල ශිලා ලිපි දෙකක් කරවා එක් ශිලා ලිපියක තම රුව සහිත තමා ශ්‍රී පාදය වන්දනා කළ අයුරුත් අනෙකෙහි මීට ශත වර්ෂයකට පමණ පෙර විජය බාහු රජතුමා පූජාකරන ලද අඹගමුව -කෙහෙල්ගමුව ගිලීමලේ බඹර බොටුව ආදී ශ්‍රී පාදය සතු විහාරගම්වලට කිසිවෙකුටත් හානියක් කළ නොහැකි වන පරිදි නැවතත් අයිතිය තහවුරු කළ බව සදහන් කර වර්ථමානයේ නිශ්ශංක මල්ල ලෙන නම් ලෙනෙහි ගිමන් හැර තම රාජධානය වන පොලොන්නරුව දක්වා ගමන් කළ බව මහා වංශයේ සඳහන් වේ. තවද බොහෝ රජවරු ශ්‍රී පාදස්ථානය වැදපුදාගත් අතර ක්‍රි.ව. 1581 දී බෞද්ධයිනට ශ්‍රී පාදය අහිමි වී ඇත.


1581 දී රජ වූ මයාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර පළමු වන සීතාවක රාජසිංහ රජු ‍ෙබෟද්ධයන් සමග කුපිත වී භික්ෂූන් වහන්සේලා මරා දමමින් බෞද්ධ වෙහෙර විහාර විනාශ කර ඇත. එකල භීක්ෂූන් වහන්සේලා සියලු දෑ අතහැර පලා ගොස් ඇත. හුදෙකලා වූ ශ්‍රී පාදස්ථානය රජු විසින් ආඬිපකිර්වරු නම් හින්දු පූජක වරුනට පවරා දෙන ලදී. 1581 කාලය තුල මේ ආකාරයට පැවතින. මෙකල භික්ෂූන් ‘ශිවනොලිපාදම් වශයෙන් ශ්‍රී පාදය හදුන්වා ඇත. විදේශීය ගත්කතුවරු රාශියක් අතීතයේ ශ්‍රී පාදය තරණය කොට ඒ පිළිබද ග්‍රන්ථ පල කොට ඇත. සම්බුදු සිරිපා සටහන දෑසින් දුටු විදේශිකයන් විසින් තමන් දුටු සිරිපා සටහනෙහි ප්‍රමාණයන් දක්වා ඇති අතර දසවන ශතවර්ෂයේහි පැමිණි චීන ජාතික බාඕ ජුගුවා සිරිපා සටහන අඩි 7 පමණ වේ. යැයි සදහන් කර ඇත. 16 වන ශතවර්ෂයේ (1660-1679) ලංකාවට පැමිණ සිරගතව සිට “එදා හෙළදිව” නම් ග්‍රන්ථය ලියූ රොබට් නොක්ස් විසින් පත්මයේ දිග අඩි 02 ක් පමණ වේ යැයිද සදහන් කර ඇත. ක්‍රි.ව. 1581 දී හින්දු පුජකවරුන්ට භාරකළ ශ්‍රීපාදය ක්‍රි.ව.1747 රජබවට පත් කිර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් හින්දු පූජකයින් පන්නා දමා නැවත බෞද්ධ අයිතියට ගන්නා ලදී.


වසර 171 ක්වූ හින්දු පාලන කාලය තුළ ශ්‍රී පාදස්ථානය වෙත ආගිය විදේශිකයන් ගැන දෙස් විදෙස් කිසිදු සටහනක් මෙතෙක් හමුවී නැත. එහෙත් ඔවුන්ගේ පාලන කාලය තුල ශ්‍රී පාදස්ථානය සතුව පැවැති රන් රිදී මුතු මැණික් ආදී සියල්ල ආඩින් විසින් පැහැරගෙන ගොස් තිබිණි. එපමණක් නොව පෙර රජවරුන් විසින් කරවන ලද ශිලා ලිපි සන්නස් ආදී වටිනා සිහිවටනද ආඬින් විසින් බොහෝ දුරට විනාශ කර ඇති බව වර්තමානයේදී කරන ලද පර්යේෂණ වලදී අණාවරණය වී ඇත. මහාවංශය ආදී ග්‍රන්ථයන්හි සදහන් වන්නේ සමනල ගිරි පාද ප්‍රාන්තයෙහි ක්‍රි.පු. දුටුගැමුණු රාජසමයෙහි විසූ මලිය දේව මහරහතන් වහන්සේ විසින් පලාබද්දල ප්‍රතිරාජ පිරිවෙන් විද්‍යස්ථානය ආරම්භ කරන ලද බවත්, එකම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සඟරාව ලියා ඇත්තේද මෙහි බවත් මතයක් පවතී. වසර 500කට අධික කාලයක් පැවති මෙම විද්‍යස්ථානය මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ දේවප්‍රතිරාජ නම් ඇමතිවරයෙකු විසින් සිදුකළ ප්‍රතිසංස්කරණයෙන් පසු එම ඇමතිවරයාගේ නාමය මුල් වී දේව ප්‍රතිරාජ මහා පිරිවෙන නමින් ප්‍රසිද්ධ වූ බව සදහන් වේ. පෞරාණික හා ඓතිහාසික තොරතුරු එසේ වුවද පාරිසරික වශයෙන් ශ්‍රීපාද කදුවැටිය ශ්‍රී ලාංකික සැමගේම වටිනාම සම්පතකි.


මෙහි වැසි වනාන්තර ජෛව විවිධත්වය බොහෝය. දිවයිනේ ප්‍රධාන ගංඟා රාශියක්ම ජල මූලාශ්‍රය සමනල කදු වැටියයි. මෙහි හරිත වියන තුළ සමනොල කදුවැටියට පමණක් ආවේනික ශාක බොහෝමයකි.උඩවැඩියා, බේදුරු.......වැනි ශාක බොහෝමයකි. තෙත්කළාපීය වනාන්තරයක් වන මෙය නිජබිම කරගෙන දික් කැකුණ, ගම්මාළු, කුඹුක්, මුගුණ, මොර, බදුල්ල, දඹ, මිල්ල, පෙලෙංග, ආරිද්ද කටමදා වැනි තෙත් කළාපයට ආවේනික ශාක බොහෝමයකි. මෙහි ශාක විශේෂ අතර අලිබෝ ඇසටු, ඇත්දෙමට, ඉඹුල්, කරව්, කරඳ, කටු කිතුල්, දෝතළු කටුකැන්ද, කටු කිතුල්, කැන්ද, කෑල්ල කොට්ටඹ, කොකුම්, ගොරක, ‍ෙගඩපර, ගෝනපනා, දියවර, පරසතු පලොල්, පොරෝමාර, වැලිබට, බටදොඹ, මඩොල්, මල්කෑර, මලබොඩ, බෝබු, සාදික්කා, ,ඔඩිතිය, මී, තොටිල, තිත්ත ඇට, සපු, හල්, හොර, හැඩවක, වල්දෙල්, වන ඉදල, වැරනියා විශේෂ තැනක් ගනී. තුරුලිය සුසැදි මෙම වන ගොමුව නිවහන කරගත් වනසතුන්ද බොහෝය. මෙම ශාක වියන තුළ ජීවත් වන සිවුපාවුන් අතර වල් අලීන් විශේෂ තැනක් හිමිකර ගනී. වදුරා වැලිමුවා, තිත් මුවා, හැලි වඳුරා, වල් ඌරා, වැලි මුවා, මී මින්නා, ඉත්තෑවා, කොළ දිවියා , හාවා, මුගටියා, උගුඩුවා, ඌරුමීයා, උරුලෑවා, දිවියා, කබල්ලෑයා, මෙහි වාර්ථා වන ක්ෂීරපායීන් විශේෂ කීපයකි. මෙහි දැකගත හැකි පක්ෂීන් අතර වලි කුකුළා, වැහිලේනා, මයිලගොයා, උකුස්සා, කවුඩා, කුරුළු ගොයා, බකමූණා, පොල්කිච්චා, කෑදැත්තා, බටගොයා, මයිනා, කෑරලා, සූටික්කා, නීල කොබෙයියා, දැකිය හැක. මෙහි වෙසෙන උරගයින් අතර පලාබරියා, කුණකටුවා, ඇහැටුල්ලා, පොලගා, පිඹුරා, නයා, මාපිලා, දෙපත් නයා, දියනයා, පොලොන් තෙලිස්සා, කරවලා, කබර ගොයා දැක ගත හැක. එමෙන්ම මෙහි වෙසෙන මත්ස්සයින් අතර ආදා, මඟුරා, ලූලා, කනයා, දංඩියා, බුලත් සපයා, හොරපොලයා, තල්කොස්සා, හීටයා, මිරිදිය ඉස්සන් දැකගත හැක. වේවැල්, බඹරවැල්, ඕකෙයියා වැල්, කිරිදි වැල්, කුකුල් වැල්, හිඹටු වැල්, පුස් වැල්, කුඹුරු වැල් ආදී දුර්ලභ ගණයේ වැල් වර්ගද මෙහිදී දැක ගත හැක.


මෙහි සංචාරක සමය තුළ පැමිණෙන්නන් රැගෙන එන පොලිතීන් ඇතුලු ඝන අපද්‍රව්‍ය විශාල පාරිසරික ගැටලු රැසක් මතු කර ඇත. ඔබ රැගෙන එන ආහාර පාන හා අනෙකුත් දෑ වල ඇති අපද්‍රව්‍ය ඔබ විසින්ම ආපසු රැගෙන යා යුතුය. වනය තුළින් ඔබ රැගෙන යා යුත්තේ ජායාරූප හා මිහිරි මතකයන් පමණි. ඒ කිමද යත් ශ්‍රී පාදයට පමණක් ආවේණික විසිතුරු ශාක හා පැළෑටි ඔබේ ගෙවත්තේ පැළ කළ නොහැකි බැවිනි.


No comments:

Post a Comment