Powered By Blogger

Followers

Thursday, August 25, 2011

කොට්ටිඹුල්වල ‍‍‍‍‍ ‍‍‍‍‍‍ලෙන් විහාරය

කොට්ටිඹුල්වල ‍‍‍‍‍ ‍‍‍‍‍‍ලෙන් විහාරය

අනුරාධපුරය, පොළොන්නරුව වැනි අතීත‍ෙය් පැවති ප්‍රධාන අග නගරයක් සතුරන් ආක්‍රමනය කළ විට එවකට එහි පාලනය කළ රජවරුන් රට මැදට පැමිණ සේනා සංවිධානය කොට යුධමය වශයෙන් ඔවුන් පරාජය කොට මුළු සිංහලයම එක්සේසත් කළ බව අතීත වංශ කථාවලින් කියවේ. ඒ අතරින් අප රට මැද ‍ෙබාහෝ තැන් වල සේනා සංවිධානය කල රජෙකු ලෙස වලගම්බා රජුට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එතුමන් සේනා සංවිධානය කිරීමට කටයුතු කළ බොහෝ ප්‍රදේශ අප රට තුල සඳහන්ව ඇත. එම බොහෝ ස්ථාන වල ඉදිකල වෙහෙර විහාර හෝ ඒවායේ නිර්මාණය කළ ශිලා ලේඛණ බිතුසිතුවම් අදටත් විරාජමානව පවතී.


කොට්ටිඹුල්වල විහාරය වලගම්භා රජ සමය දක්වා වූ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකි. වැලිගෙපොල සිට සැතපුම් 5 ක් පමණ දුරකින් පිහිටි මෙම විහාරස්ථානය මදක් උස් ස්ථානයක ඉතාමත් සිත් ගන්නා සුළු ආකාරයට පිහිටා ඇත. කොට්ටිඹුල්වල රජමහා විහාරය ප්‍රධාන වශයෙන් දිගින් වැඩි ගල් ගුහාවක් මුල් කරගෙන ගොඩනගා ඇත. මෙම ගල් ‍ෙලන පියස්සේ කටාරම් කොටා තිබෙනු දක්නට ලැබෙන අතරම පැති බිත්ති බැද අලංකාරව සකස්කර තිබෙනු දැක ගත හැකිය. මෙතුල වැඩහිදින සැතපෙන බුදුපිළමය එහි යන එන කාගේත් වන්දනා මානයට ලක්වන දුලභ නිර්මාණයකි. මෙම විහාරයට නම් පටබැදීමට හේතුවද මෙම සැතපෙන බුදු පිලිමය හා බැදුනු කතාවක් බව විශ්වාසයකි.


බුදුපිළිමයේ සිරස අතීතයේ හිටුවා තිබී ඇත්තේ ඉඹුල් ගසකින් ලබාගත් කොටසකින් සකස්කරන ලද කොට්ටයකය. එය මූලාශ්‍ර කරගත් පැරණි ගැමියන් විසින් කොට්ටය ඉඹුල- වල යන නම මෙයට ව්‍යවහාර කර ඇත. කොට්ටිමුල්වල ‍විහාරයේ දැකගත හැකි චෛත්‍ය හා දේවාලද විශේෂ ස්ථානයක් ගනු ලබයි. මෙම විහාරය ආශ්‍රිතව අලංකාර බිතු සිතුවම්ද දැකගත හැකිය. මෙම සිතුවම් අතර වඩාත් කැපී පෙනෙන නිර්මාණ ලෙස අකුසල් කළ පුද්ගලයන් නිරයේ ඉපිද දුක් විදින ආකාරයත් කුසල් රැස් කළ පිරිස සුගතියේ ඉපිද සැප සම්පත් ලබා සිටින ආකාරයත් විචිත්‍රවත් ලෙස සිත්තම් කර ඇති අකාරය දැක් විය හැකිය. දස බිම්බර මාර සෙනග දැක්වෙන සිතුවමද විශිෂ්ඨ ගණයේ පැරණි බිතු සිතුවම් නිර්මාණයන්ය. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි කොට්ටිඹුල්වල රජමහා විහාරයේ තවත් විශේෂ වැදගත් කමක් ඇත. ශ්‍රී ලංකාවේ රංගිරි දඹුලු විහාරය හැරුනු කොට ලෙන් විහාරයක් අභ්‍යන්තරයේ චෛත්‍ය පිහිටි එකම ඓතිහාසික ස්ථානය කොට්ටිඹුල්වල රජමහා විහාරයය. ලෙන තුල ඉතා අලංකාර අන්දමින් චෛත නිර්මාණය කර ඇත.


කොට්ටිමුල්වල රජමහා විහාරය වංශය ඇරඹෙන්නේද වලගම්භා රජතුමා සොලීන් සමග ස‍ටන් සඳහා සේනා සංවිධානය කිරීමට රට පුරා බොහෝ වනගත ප්‍රදේශ වාසස්ථාන කරගෙන ජීවත් වී ඇත. එහිදී වසර 12 පමණ කාලයක් සිටි රජතුමා අවසාන වසර වලදී මෙම ස්ථානයේ ආරක්ෂ සහිතව යුද්ධ සඳහා සේනා සංවිධානය කරමින් වාසය කර ඇත. මෙම වකවානුවේදී රජතුමා විසින් කුඩා විහාරයක් ආරම්භ කර තම ආගමික වතාවත් සිදුකර ඇත.


මෙහි සිටින එක් අවස්ථාවක ලෙන් පියස්සේ සිටි මකුළුවෙකු තම දැල විවීමට ගන්නා උත්සහය දුටු රජතුමා එම ක්‍රියාව ආදර්ශයට ගෙන සොලීන් සමග පසු නොබැස යුද්ධ කර සටනින් ජයගත් බවත් ඉන් පසු රට එක්සේසත් කල බවත් පරම්පරාගතව පවතින කථාවකි. ජනප්‍රවාද ගත සිද්ධී ඇසුරෙන් කොට්ටිමුල්වල ඉතිහාසය ගොඩනැගී තිබුනද එහි දැකගත හැකි බොහෝ දේ අතීතයේ මෙහි පැවති සශ්‍රීකත්වයට සාක්ෂි දරනු ඇත. පුරා විද්‍යා ස්මාරකයක් ලෙස මෙම විහාරය නම් කර තිබුනද පුරා විද්‍යා බලධාරීන් මෙම විහාරය තුල කිසිදු සංරක්ෂණ කටයුත්තක් සිදු කොට ‍නොමැත. වහලය දිරා, පරවියන්ගේ රජදහක් බවට පත් වී ඇති ඓතිහාසික කොට්ටිමුල්වල රජමහා විහාරය පුරාවිද්‍යා බෝඩ් ලෑලි ගැසීම පමණක් සිදු කිරීමෙන් සංරක්ෂණය වේද? පුරාවස්තු මංකොල්ලා කරුවන්ගේ රජදහනක් වී ඇති කොට්ටිඹුල්වල රජමහා විහාරය ආරක්ෂා කර ගැනීම අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන කදිම ආයෝජනයකි.

No comments:

Post a Comment